බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

මතු පරපුර මිනිස්කමේ දීප්තියෙන් බබළවන අම්මලාගේ බුද්ධිප්‍රභාවය

 

උදම්මිට උත්තමාරාම පුරාණ විහාරයේ

මොරටුවේ ආනන්ද හිමි


මුනි සිරිපා සිඹිමින්නේ – සමනොළගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ – මගේ පුතා නැළවෙන්නේ

සම්බුදු සිරිපා පද්මය නමැද සමනොළ ගිරි පව්වේ හැපී හමන සුළඟ පවා මගේ පුතුට දිවඔසුවැ සනීපය ගෙනෙයි. සුවපත් මනසින් පුතු සැනැසෙන්නේ – නැළැවෙන්නේ සිරිපා පෙදෙසින් හමා එන මඳ සුළඟිනි.

එදා අපේ අම්මාවරු උතුරා දෝර ගලන අපමණ පුතු සෙනෙහින්, හිස පිරිමදිමින්, කරුණා දයා වදනින් කිරිකැටි සිඟිති බිලිඳා නැළවූවේ – සැතපූවේ මෙබඳු නැළවිලි කව් ගායනා කරමිනි.

සිසිල සුවය වැදී බිලිඳු පුතා සනීපයට නිදිසුව වින්දේ ය.

ගතට සිසිල, සනීපය සේ ම ඉන් කිරිකැටි පුතුගේ මනස ද සමාජ හිතකාමීවැ සංවේදීව වැඩුණේය. කරුණාව, දයාව, මානව හිතවාදී බව, මව්කුස තිඹිරිගෙය තුළදී ම කුසහොත් දරු සිඟිත්තා හඳුනා ගත්තේ ය.

තිලොවට ම ශාන්තිය ගෙනදුන් ශාන්තිනායකයාණන් වහන්සේගේ ශාන්තිදායක ශබ්ද තරංගයන්ගේ ධ්වනිත ශබ්දය මව්කුස වැඩෙන බිලිඳුගේ ගත සිත සනීපදායක බව පිණිස මැනවින් උපකාරවත් වූයේ ය. දරුවකු තම කුස තුළ පිළිසිඳගත් බැව් දැනගත් දා පටන් උත්තරීතර මාතෘත්වයේ නාමයෙන් එදා මව්වරු දහමට අනුගතව පේවී දිවි ගත කළහ. දවසට දෙවාරයක් බුද්ධ වන්දනාවේ යෙදුණු පෙර මව්වරු දිනපතා දවසට දෙවාරය බැගින් පන්සිල් සමාදන් වූහ.

කුස තුළ දරුවා වෙනුවෙන් ද වරක් පංචශීල සමාදානයේ යෙදුණාහ. මෙලෙස බුදුරදුන්ගේ දහමේ ආභාසය ලත් අපේ එදා පරපුර රටට, සමාජයට හිතැති මිනිසාගේ පමණක් නොව සතා සීපාවාගේ ද දුක, කඳුළ හමුවේ සංවේදී කරුණාබර මෛත්‍රී සහගත හදින් යුතු වූහ.

එබඳු මනා සංයමයෙන්, ශික්ෂණයෙන් යුතුවැ මානව හිතවාදී පිරුණු මිනිස් සමාජයකට සවිමත් පදනම වූයේ සත්ත්ව හිත විධායක, කරුණා නිධාන, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමිල ඉගැන්වීම් සමුදායයි. එලෙස බුදුදහමේ ආලෝකය මිහිමඬලේ ශාන්තිදායක චිරපැවැත්මට මහෝපකාරි විය.

ළපටි පැළ තවාන සරු අස්වැන්නකට මඟ පාදයි. පුංචි පැළය ලොකු වී මහා වෘක්ෂයක් ව හාත්පසට සෙවණ ද, පිරිසුදු හිතකර වාතය ද ලබා දී මිහිමඬල සනීපදායක තැනක් බවට පත්කරයි. මව්කුස තිඹිරිගෙයි වැඩෙන දරුවා ද එලෙසින් ම හාත්පස සුවඳ පතුරුවන හෙට පූදින මල් කැකුළයි.

මවගේ සිතුම් පැතුම් ආකල්ප ද, සුවදායක පාරිසරික හා සමාජ සබඳතා ද කුස තුළ දරුවාගේ වර්ධනීය සාධකයන් ය. මේ බැව් මැනවින් දත් එදා හෙළ කුලකත මව් පදවිය පිණිස පේවී ඇප කැප වූවා ය. දරු පිළිසිඳ ගැනීමේ පටන් ප්‍රසූතිය දක්වා ද, බිහිවන දරවා, නවක සමාජ සත්ත්වයා යහගුණ, නැණගුණ සපිරි අයකු බවට පත් කිරීමට සැබෑ මව පියා වගබලා ගනිති.

එය සමාජ වගකීමකි. හොඳ දරුවා හොඳ සමාජයක පදන ම ය යන්න අදහා හොඳ මව්පියෝ හොඳ දරු පරපුරක් සමාජගත කිරීමේ මෙහෙවරෙහි නියැළුණහ.

වචනයෙන් කිව නොහැකි අප්‍රමාණ කායික මානසික දුක් තැවුල් වේදනා ඉවසා දරුවකු බිහිකරන අම්මා එතැන් පටන් ගත රුහිරු කිරිකර දරුවාගේ ගත සිත වඩවා අවවාද අනුශාසනා දී ශික්ෂණයෙන් හෙබි සුචරිතවත් මතු පරපුරකට ශක්තිමත් අත්තිවාරම දැමුවා ය. පියතුමා ගබ්පෙරහර පවත්වා (ගබ්බපටිහාර) සුවැති දරු උපතකට, විසල් සෙවණක් ව නිරෝගී දාරක සම්පතකට මඟ පාදා මව සමීපයට ම වී ඇගේ ගත සිත සුවපත් කළේ ය.

ගැබිනි මවට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර සපයා සිතට සැනසිල්ල, ගතට සුවපහසුව දී නොමඳ කරුණාවෙන් හෘදයංගම පේ‍්‍රමණීය වදනින් දරුවාගේ මවට සංග්‍රහ කොට රැක බලාගත්තේ ය.

ධර්මද්වීපය වූ මගෙ හෙළ දෙරණේ උතුම් බුදුවදන ජීවිතාදර්ශය තම දේවියට ගබ්පෙරහර පවත්වා ඇත. පැරකුම් කුමරුවා රත්නාවලී දේවි කුස පිළිසිඳගත් කල ගබ්පෙරහර දක්වා කුමරුවා උපන් සොම්නසින් මානාභරණ රජු සිරගෙයි සිරකරුවන් බොහෝමයකට අභයදී රට පුරා මහණ බමුණන්ට දන්පැන් පිළිගන්වා පුතුගේ මතු රැකවරණ පැතුවේ දාරක පේ‍්‍රමයෙන් පීතෘ දයාවෙන් චිත්තාභ්‍යන්තරයේ නැගි නහරයක් නහරයක් පාසා රුධිර ධාරාව හා මුසුවූ දරු පෙම ලොවට කියා පාමිනි.

ගර්භණී සමයේ ගැබිනි මවට දැනෙනා ආශාවන් තුළින් දරුවාගේ රුචිකත්වය, කැමැත්ත පිළිබිඹු වෙයි. දොළ දුක යනුවෙන් හඳුන්වනුයේද එයයි.

දෙහදක අභිලාෂයන්, ළය දෙකක දුක හෙවත් දොළදුක වෙයි. දරු සම්පත් අපේක්ෂිත මාතාවන්ගේ දොළදුක සන්සිඳුවීම දරුවාගේ පියාගේ වගකීමකි. ගබ්පෙරහරේ අංගයකි.

වෘෂභයකු පමණ මහා මීවදයක් ගෙනවුත් එය රහතන් වහන්සේ දොළොස් දහසකට දන්දී ඉතිරිවන කොටස ඉහ අද්දර තබා අනුභව කිරීමේ වෙහෙර දේවියට තිබූ දොළ එදා කාවන්තිස්ස නිරිඳාණෝ ඉමහත් වුවමනාවෙන් ඉෂ්ට කළෝය. පිපුණු මලැති සල්රුකක් යට හිඳ සල්මල් සුවඳ ආඝ්‍රාණය කිරීමට තිස්සකුමරු පිළිසිඳගත් කල විහාරදේවියගේ දොළ කාවන්තිස්ස රජු ඉමහත් සෙනෙහසින් ඉටු කළේය. වෙස්සන්තර ජාතක කථාවේ සඳමහ රජාණෝ ඵුසති දේවි කුස වෙස්සන්තර කුමරු පිළිසිඳ දොළ උපන් කල්හි සත්ලක්ෂයක් ධනය වියපැහැදම් කොට දාන ශාලා ඉදිකරවා දිළින්දන්ට යාචකයන්ට මහාදන්දී දේවියගේ දොළදුක සන්සිඳවූවෝය. එසේම නුවර පැදකුණු කිරීමේ අභිරුචිය ඵුසති දේවි තුළ උපන් කල සඳ රජ්ජුරුවෝ නුවර පොළෝතලය සුදුවැල්ලෙන් සරසා ධජපතාකාදිය ඉදි කරවා තොරණ බැඳ නුවර හෙළි පෙහෙළි කොට විසිතුරු කරවා සක්දෙව් නඳුනුයන සේ සරසා මනහර රථයක නැගී පුරසිරි නරඹමින් දේවියද සමඟ නුවරපුරා සංචාරයෙහි යෙදුණෝ ඵුසති දේවි දොළ සන්සිඳවනු පිණිසයැ.

හිරු සඳු මත්තෙහි දෙපා හොවා ගෙන තරුකැළ වලාපෙළ සමඟින් පොළොවේ වනපලා, ගැඩවුල් පණුවන් හා කෑමේ අභිරුචිය දොළ ඇතිවූයේ අශෝක අධිරාජයා මව්කුස ගත කරන කල ධර්මාදේවියටයැ.

උපායශීලි උපා දත් වේද වේදාන්තයේ දැපුණු බමුණෝ ඉෂ්ට කිරීම අතිමහත් දුෂ්කර වූ එකී ආශාව පෙරෙවි බමුණු උපදෙසින් බින්දුසාර රජු ඉෂ්ට සිද්ධ කළේ හදේ පිරුණු ඉමහත් පුත්‍ර ස්නේහයෙනි.

රජුගේ දකුණු උරය පළා ඉන් වෑහෙන රුධිර පානය කිරීමේ දොළක් උපන්නේ අජාසත් කුමරු කුසහොත් බිම්බිසාර රජ දේවියටයැ. දාරක පේ‍්‍රමයෙන් උතුරාගිය බිම්බිසාර රජ සිත ඊට නැමී වෙදැදුරෙකු කැඳවා රන් සැතින් දකුණුූ උරය පළවා ලේ ගෙන දිය හා මුසුකොට බිසවුන් වහන්සේට පානයට සැලැස්වූයේ ය.