පාණාතිපාතා වේරමණී ශික්ෂා පදය
මල්වතු විහාරවාසී,
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
වැලිවිට සෝරත හිමි
හේනක් වගා කරන ගොවියෙක් නොයෙක් සතුන්ගෙන් එය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් වැටක් සකසා ගන්නේ යම්සේද? එසේම අපගේ ජීවිතය රැක ගැනීමටද ශක්තිමත් වැටක් අවශ්‍ය වන්නේය. ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයා විසින් ජීවිතයේ රැකගත යුත්තේ උදාරතර ගුණ ධර්මයන්ය. එය ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගලයාට ඇති ශක්තිමත් වැට වන්නේ පන්සිල්, අටසිල් දසසිල් පිරීම හා දස අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමයි.
ගිහි සමාජයට අයත් සියලු දෙනා විසින් නිරන්තරයෙන් ආරක්ෂා කළ යුතු යැයි දේශනා කරන ලද පංචශීලය තුළත්, පොහෝ දිනයන්හි අටසිල් හෝ දසසිල් සමාදන් වූ ගිහියන් විසින් ආරක්ෂා කළ කළ යුතු යැයි දේශනා කරන ලද ª අෂ්ටාංග හෝ දසාංග සීලය තුළත් පළමුවෙන් වැළකිය යුතු සීලය වශයෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රාණඝාතයෙන් වැළකීමයි. එසේම පැවිදි සමාජයට අයත් සාමණේරවරුන් විසින් හා උපසම්පන්න භික්ෂූන් විසින්ද නොකළයුතු දෙයක් වශයෙන් ප්‍රාණඝාතය පෙන්වා දී තිබේ. ගිහි පැවිදි උභය පාර්ශ්වයම විසින් ම සිදු නොකළයුතු දස අකුසල කර්මයන් තුළත් මූලිකව විරමණ්‍ය කළයුතු වන්නේ ප්‍රාණඝාතයයි.
ඒ අනුව ඉහතින් සඳහන් කළ සියලු සීලයන් තුළ පළමුවෙන් ම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් විය යුතුය. මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වන විට අප එක්තරා ගිවිසුමක් අත්සන් කරනු ලැබේ.
එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ තමා තමන්ගේ හදවත සමඟ මය. මිනිස් භවයක් ලබා ගත් අපට ධාර්මික සමාජයක් ගොඩනැඟීම සඳහා ඉදිකරනු ලබන අත්තිවාරම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවාය යන සීලය සමාදන් වීමයි. ශක්තිමත් අත්තිවාරමක් නොමැති ගෙයක් බිඳ වැටෙන්නේ යම්සේද එසේම යහපත් ජීවිතයක්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගොඩනැඟීමට සීලය අත්තිවාරමක් වන්නේය. එහි පළමුවන අත්තිවාරම ප්‍රාණඝාතයෙන් වැළකීමයි. එයින් වැළකීම තුළින් අප ලබන වටිනාකම මෙපමණයි කියා කිසිවෙකුට කිව නොහැකිය.
“පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන ශික්ෂාපදයෙන් කියවෙන්නේ “මම ප්‍රාණඝාතය කිරීමෙන් වැළකෙන “ශික්ෂාපදය සමාදන් වෙමි” යන්නයි. අටුවාචාරින්ගේ මතයට අනුව ප්‍රාණඝාතය වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය. ප්‍රාණියෙකු වීම (පාණො), පණ ඇති බව දැනීම (පාණසඤ්ඤිතා), වධක සිත (වධකචිතතං), උපක්‍රමය (උපක්කමො) එයින් මරණයට පත් කිරීම (ඊතන මරණයන්හි) යන ඒවාය. අභිධර්මයේ ඉගැන්වෙන චිත්තවිථී විභාගයට අනුව කෙනෙක් සතෙකු දැන යම් ආයුධයක් හෝ දණ්ඩක හෝ මුගුරක් හෝ ගෙන සතෙක් මරණයට පත් කරන්නේ නම් ඔහු තුළ ඉහත කී කාරණා පහම සම්පූර්ණත්වයට පත්වේ. ඒ කරුණු එකින් එක සිහි කිරීමක් හෝ දැන ගැනීමක් අවශ්‍ය නොවන්නේය. සියලු සත්වයෝ දඬුවමට හා මාරයාට බිය වන්නෝය. එබැවින් තමා විසින් වෙනත් සත්ත්වයෙකුට හිංසාවක් හෝ ඝාතනයක් කිරීමට යොමු වන්නේ නම් එවිට තමන්ම උපමාවට ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ හායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
ත හනෙය්‍ය න ඝාතයේ
යන ධම්මපදයේ දණ්ඩ වර්ගයේ පළමු ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ. මට රිදෙනවා මට වේදනාව දැනෙනවා. මාගේ ජීවිතයට මම ආසයි. මට වේදනාව දැනෙන නිසා මට රිදෙන නිසා මගේ ජීවිතයට මම ආසා කරන නිසා මම අනුන්ට හිංසාවක් කරන්නේ නෑ. මොකද ඒ සියල්ලෝමත් තම තමන්ගේ ජීවිතවලට ආසා කරන්නෝය. වේදනා විඳින්නට අකමැත්තෝය යනුවෙන් සෑම විටම සිතිය යුතුය. කෙනෙක් එක් භවයක කරන ලද සත්ත්ව ඝාතනයක් නිසා අනන්ත වාර ගණනක් භව තුළදී තමාටද තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන්නේය. ඒ බව ලෝවැඩ සඟරාවේ සඳහන් ඉහත කවියෙන් පැහැදිලි වේ.
පෙර අඟනක් එක් එළු දෙනෙක හිස සිඳා
සිය ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා
එක් භවයකදී කාන්තාවක විසින් එළු දෙනකගේ හිස කඳින් වෙන්කෙට මරණයට පත් කිරීමේ විපාක වශයෙන් ගිනිජාලාවෙන් වට වූ නිරයේ උපත ලබා එළදෙනගේ ඇඟෙහි තිබු ලොම් ප්‍රමාණය තරම් නරක භවවලදී හිස් කැපීමෙන්ම ඇය මරණයට පත් වී ඇත. මිනිසා අනුන්ගේ දුක් වේදනාව තේරුම් නොගන්නා අවස්ථාවේ අනුන්ට දුක් වේදනා දෙයි. එය මනුස්සකමක් නොවේ. තමනට කිරිටික දෙන ගොයම් ටික පාගවා ගන්නා බර උසුලන සතා ගව ඝාතකාගාරයට යවා ඝාතනය කිරීමට තරම් ම්ලේච්ඡ වන මිනිසුන් කොපමණ සිටිත්ද? ඇතැම්විට වතු පිටි, වැට මායිම්, මිල මුදල් හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් දෙමාපිය දරුවන්, සහෝදර සහෝදරියන් අසල්වාසින් මිතුරන් ගහ මරා ගන්නා සමාජයක් අප හමුවේ දක්නට ලැබේ. මෙය කෙරම් ඛේදජනකද?
බුදුදහමට අනුව ප්‍රාණඝාතය බරපතළ අකුසලයකි .පවකි. පව් කරන තැනැත්තා ඒවා කරන විට මී පැණි කන්නා සේ සිතා ඉතා කැමැත්තෙන් සිදු කරයි. (මධුවා මඤ්ඤති බාලො යාව පාපංන පච්චති) එහෙත් එහි විපාකය විඳින විට තෙමේ දුකට පත් වන්නේය. (යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති) පාප කර්ම සිදු කර පුද්ගලයාට කර්මානුරූපීව ඔහුගේ උස් පහත් ගති ඇති වන ආකාරය පිළිබඳ තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකට කරන ලද දේශනාවේදී ප්‍රාණඝාතයේ විපාක වශයෙන් දක්වා ඇත්තේ එබඳු පුද්ගලයා මරණින් මතු අපායේ උපත ලබන බවය. මැරෙන මොහොතේ ඇතිවන යහපත් සිතිවිල්ලක් අනුව මනුෂ්‍ය භවයක් ලැබුවේ නම් ඔහුගේ ආයුෂ කෙටි වන්නේය. ප්‍රාණඝාතය කිරීමෙන් පසු නරකයේ උපන් සත්ත්වයා විඳින දුක අපට පෙනෙන්නේ නැත. එහෙත් මිනිස් සමාජය තුළ වාසය කරන ඇතැම් සත්ත්වයින් විඳින දුක් දෙස බැලු කල ඔවුන් පෙර භවයන්හි සිදු කරන ලද අකුසලයන්ගේ බලපෑම මත එසේ සිදු වන බව සිතීමට හැකිය. සාමාන්‍ය මිනිසා විඳින දුක මෙතරම් ඉසිලිය නොහැකි නම් ප්‍රාණඝාතය වැනි බරපතල අකුසල කර්මයන් සිදු කළ පුද්ගලයා විඳින දුක කොපමණදැයි වටහා ගත හැකිය. මෙයින් පෙනෙන්නේ යම් සත්වයෙකුගේ ජීවිතය විනාශ කිරීමෙන් ඒ සත්ත්වයාට බරපතළ වරදක් කරන්නා සේම තමන්ගේ ජීවිතයටද එතරම්ම හානියක් සිදු කරගන්නා බවය. එම නිසා අන් සත්ත්වයින්ගේ ජීවිත අගය කිරීමත්, ඔවුන් ආරක්ෂා කිරීමත්, මෛත්‍රිය හා කරුණාව දැක්වීමත් උතුම් මිනිස් ගතියක් වන්නේය.
වර්තමානයේ මිනිස් සමාජය තුළ මිනිසා අතර දක්නට ලැබෙන්නේ විෂම හැසිරීම් රටාවන්ය. කැලේ වසන අහිංසක සිව් පා සතුන් කොටි, සිංහ ආදි බලවත් සතුන්ට බියෙන් සිටින්නා සේ මිනිස් සමාජය තුළ සිටින බලවත් පුද්ගලයන්ට බියෙන් වෙසෙන කොතෙකුත් අහිංසක මිනිස්සු සිටිති. කැලෑ සත්ත්වයින් අතර ඇති ගති මිනිසුන් තුළටත් පැමිණ ඇති ආකාරය මෙයින් පෙනේ.
අනාගතයේ තමන්ගේ දියුණුව වෙනුවෙන් කල්පනාකොට සිතුම් පැතුම් ගොනුකරගෙන ජීවත් වන මිනිසා විසින් අන් අයට හිංසාවක් පීඩාවක්, නැසීමක් නොකරන්නට සිතන්නේ නම් මේ මිනිස් සමාජය කෙතරම් ධාර්මිෂ්ට වන්නේද ? බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කුඩා සතෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකරන ලෙසය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් සෑම සත්තවයෙකුට මෛත්‍රිය පැතිරවීම මිනිසාගේ පරම යුතුකම විය යුතුය.
අදින්නාදානා වේරමණී ශික්ෂා පදය
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයා විසින් කරන පස්පව් ප්‍රධාන කරගත් පාප ක්‍රියාවන්ගෙන් ලබන ප්‍රතිවිපාකවලින් මිදෙන්නට මඟ හරින්නට නුපුළුවන් බවත් කෙදිනක හෝ එයට මූන දෙන්නට සිදුවන බවත්, තමන්වහන්සේගේ සර්වඥතාඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කර දේශනා කොට වදාළ සේක. මෙම මානව පරපුර මිහිපිට ඇති වූ දා සිට සත්වයාගේ පැවැත්ම හෝ සද් අසද් ක්‍රියාවන් පිළිබඳවද ප්‍රත්‍යක්ෂයෙන් දැන ගන්නට සමත්වූයේ අප සම්බුදුරජාණන් වහන්සේ පමණි. සත්වයාගේ චින්තාව එක ආත්මයක ක්ෂණ මාත්‍රයකින් ඇතිවෙන දෙයක් හෝ වෙනත් ලෝකයක බලවතෙකුගේ අවශ්‍යතා අනුව සිදුවන දෙයක් හෝ නොව අති දීර්ඝ කාලීනව භවාන්තරගතව වෙනස් වෙමින් එහෙත් හේතුඵල අනුව කර්ම න්‍යායානුකූලව ක්‍රියාත්මක වන ශක්තියක් බව අප බුදුහු දැන වදාළ සේක.
කර්ම ශක්තිය මේ විශ්වයේ පවත්නා සියලු බලවේගයන් අභිභවා ක්‍රියාත්මක වන බැවින් එහි ඇති සංකීර්ණත්වය ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ අප භාග්‍යවතුන් වහන්සේ එයින් වෙන්වන තුරු (විසංඛාරගතං) සත්වයාට සැප දුක නමැති සංකල්පයේ තෙරපෙමින් සිටින්නට සිදුවන වග යථා පරිදි පහදා දුන් සේක.
අප බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ ප්‍රධාන කාරණා හතරක් දේශනා කළ සේක.
01. කර්මවල මූල ධර්ම
02. පින් පව්
03. කර්ම ක්‍රියාත්මක වන ආකාරය
04. කර්ම වලින් මිදීම
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතයිත්වා කම්මං කරොති කායෙන, වාචාය, මනසා” ආදීනයින් දක්වා ඇති පරිදි සිතීම හෙවත් චින්තනය කර්මවල මූල ධර්මය වන අතර සිතා, කියා, කරන දේ කර්ම නිසා සත්වයාට තම චින්තනය ප්‍රකාශ කරන්නට ශරීරයේ ප්‍රධාන අංග තුනක් නිතරම සූදානම්ව පවතී.
කර්ම න්‍යාය කවදා කෙසේ ඇති වූයේ දැයි කිසිම කෙනෙකුට කිව නොහැකි අතර කර්ම ක්‍රියාත්මක වීමෙන් සත්වයාගේ පැවැත්ම සිදුවන ආකාරය බුදුදහමෙහි හොඳින් පැහැදිලි කර ඇත.
"මනෝ පුබ්බංගමාධම්මා" යනුවෙන් දක්වා ඇති පරිදි මනසේ සකස්වීම අනුව ඇතිවන කර්ම පින් පව්, කුසල් අකුසල් වශයෙන් වර්ග වන්නේ ය. රාග, ද්වේෂ, මෝහයෙන් සංවෘත හෙවත් ආවරණවූ සිතින් කරන, කියන දේ පව් වශයෙන් වෙන් කෙරෙන්නේ ය. වීත රාග, වීත දෝස, වීත මෝහ සිතින් කරන කියන දේ පින්, කුසල් වශයෙන් වෙන් වේ. කෙනෙකුගේ චින්තනය ක්‍රියාත්මක වීමට ප්‍රධාන කාරණා කීපයක් අවශ්‍ය වන්නේ ය.
01. පෙර ආත්මයේ සිට ගෙනෙනා භාවාංගසිත
02. මේ ආත්මයේ ලබන පරිසරය
03. ඉඳුරන්ගේ ක්‍රියාකාරීත්වය
මෙසේ ක්‍රියාත්මකවන සිත රාගාදී චේතනා නිසා ප්‍රාණඝාතය ,අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පස්පව් ක්‍රියාත්මක කරන්නේ ය.
සත්ව පරම්පරාව බිහිවන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවය අනුව නිසා ජීවයක් විනාශ කිරීම තබා ඒ පිළිබඳව සිතීම පවා මහා අකුසලයක් බව අප බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල මනෝවිද්‍යානුකූලව හා සමාජ ධර්මතා අනුව දේශනා කළ සේක.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය නඝාතයෙ
ආදී නයින් දක්වා ඇති පරිදි සරල වශයෙන් තමා උපමාකරගෙන ජීවාත්මකභාවයේ වටිනාකම දැනගෙන ජීවිතයක් විනාශ නොකළයුතු අතර ඒ වෙනුවට සියලු සත්වයන්ට මෛත්‍රී කිරීම මහා කුසල චේතනාවක් වන්නේ ය. යමෙක් ප්‍රාණ වධ කළේ නම් ඔහු අහසේ මහා මුහුදේ හෝ පර්වත ගුහාවල හෝ ආවරණය වී සිටියද එම පාපකර්මයේ ප්‍රතිවිපාකයෙන් බේරෙන්නට නොහැකි වන්නේමය.
පෙර එක් මිනිසෙක් කර්මාන්තයෙන් නිදහස් ගොනෙකු බැඳ පිදුරු ගිණින් දවා එහි විපාකයෙන් අවීචි මහා නරකයෙහි වසර කෝටි සියයක් පැසී එයින් මිදී සියක් ආත්ම භාවයන්හි පිදුරු ගින්නෙන්ම මැරී මැරී දුක්වේදනා වින්දේය. මෙසේ ප්‍රාණඝාත අකුසල කර්මයෙහි විපාක මහා භයානක වන්නේ ය.
මානව පරපුරේ ප්‍රගතියට බාධාවන අන්‍යෝන්‍ය සම්බන්ධය නැති කරන අදත්තාදානය වූ කලී මෙලොවදීම ධනහානියට පත්කරන භවයක් පාසා දුගී දුප්පත්ව උපදින මහා අකුසල කර්මයකි.
“අදින්නාදානං භික්ඛවෙ ආසෙච්තං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති තිරච්චානයොනි සංවත්තනිකං හොති පෙත්ත විසය සංවත්තනිකංහොති, යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො මනුස්සභූතස්ස මනුස්සදොභග්ග සංවත්තිනිකොහොති.
ආදී නයින් අප බුදුරදුන් දේශනා කළ පරිදි අදත්තාදානයේ ප්‍රතිවිපාක වශයෙන් අපාගතවීමට, තිරිසන් යෝනියේ ඉපදීමට ප්‍රේත ආත්මයේ ඉපදීමට මෙන්ම මනුලොව දුගී දුප්පත්ව හීන දීනව ඉපිද ජීවිතයේ පහත්ම තත්ත්වයට වැටෙන්නේ ය. මානව සමාජයේ සැමදාම මෙම හොරකම පවතින අතර එය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ය. අදත්තාදාන අකුසලයට ප්‍රධාන කාරණා කීපයක් හේතු කාරක වන්නේ ය.
01. සංසාරික පුරුද්ද
02. දෙමව්පිය පුරුද්ද
03. සමාජ විෂමතාවය
04. ආගම දහම නොදැනීම.
බොරුව, වංචාව, අල්ලස ආදී නයින් ක්‍රියාත්මක වන අදත්තාදානය නිසා සිදුවන අනිෂ්ඨ ප්‍රතිවිපාක
01. පුද්ගල පරිහානිය
02. සමාජ ප්‍රගතියට බාධා වීම
03. හිරගෙවල් පිරී ප්‍රශ්න ඇතිවීම
04. වෙනත් අපරාධවලට හේතුකාරකවීම.
සමාජය යනු පුද්ගලයන්ගේ ඒකකයක් බැවින් පුද්ගලයා ස්වභාවයෙන් හොරෙකු වීම සමාජ දූෂණයට මූලිකවන අතර එම පාප කි‍්‍රයාව සමාජ ප්‍රශ්න සිය ගණනකට හේතුවනවා මෙන්ම පරම්පරා ගණනකට ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනය පසුබසින්නේය. හොරකමින් උපයන ධනය නිසා තාවකාලික සතුටක් ලබන නමුත් ක්‍රමයෙන් විනාශවන විට තමාට මෙන්ම අඹුදරුවන්ට ද ආශ්‍රය නිශ්‍රය කරන ඤාති හිතමිත්‍රාදීන්ටද සිදුවන අවනම්බුව, අප කීර්තිය පාඩුව අපමණ වන්නේ ය.
අප බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදී දේශනාවලින් මෙම හොරකම, වංචාව මිනිසාගේ වසලත්වයට, පිරිහීමට හේතුවන ආකාරය ඉතා පැහැඳිලි ලෙස දේශනා කළ සේක. මිනිසාගේ මානුෂික ගුණාංග අගයන කිසිම සමාජයක් හොරකම අනුමත නොකරන්නේමය. ධාර්මික යහපත් සමාජයක් සඳහා හොරකම, වංචාව දූෂණය පිටුදැකීම සඳහා ඔබ සැම දෙනාම අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
අබ්‍රහ්මචරියා වේරමණී ශික්ෂා පදය
පානදුරේ රන්කොත් විහාරාධිපති,
කැලණිය විශ්වවිද්‍යාලයේ විඥාපක මහාචාර්ය,
කහපොළ සුගතරතන අනු නා හිමි
ප්‍රබල සදාචාරමය පදනමක් නොමැතිව කවර ආගමක් හෝ දර්ශනයක් ගොඩනැගිය නො හැකි ය. බඹසර හැසිරීමක් හඳුන්වා දී ඇත්තේ මිනිසා ප්‍රමාණය ඉක්මවා ලෞකික ආශාවන්ට ගැතිවීමෙන් වළක්වා ගැනීමට ය. එය සර්වසත්ව හිතගවේෂී ශාස්තෘවරයෙකුගේ පරම යුතුකමකි. තමන්වහන්සේ මිනිසා කැමති වන දෙය පමණක් නොව හිතකාරි නම් අකමැති වන දෙයත් පවසන බව ප්‍රකාශ කර තිබේ. බඹසර හැසිරීමෙන් යතිවරයන්ට මෙන්ම ගිහියන්ට ද මෙලොවම ලැබෙන සැනසිල්ල අපමණ ය.
උතුම් හැසිරීම, පිරිසුදු හැසිරීම යන අදහසින් “බ්‍රහ්මචරිය” යයි ව්‍යවහාර වේ. බ්‍රහ්මන්ගේ හැසිරීමට සමාන පාරිශුද්ධ චර්යාවක් ඇතිකර ගැනීම ද බ්‍රහ්මචර්යා යන්නෙන් අදහස් කෙරේ. සගුණ බ්‍රහ්මන්, නිර්ගුණ බ්‍රහ්මන් යයි බ්‍රහ්මන්ගේ ස්වරූප දෙකකි. සගුණ යනු කිසියම් ස්වරූපයකින් පෙනී සිටීමයි. නිර්ගුණ යනු ස්වරූප රහිත බවයි. මූර්ත, අමූර්ත යනුවෙන් ද මෙය හැඳින්වේ. කවර හෝ ක්‍රමයකින් දත හැක්කේ සගුණ හෝ මූර්ත බ්‍රහ්මන් පමණි. නිර්ගුණ හෝ අමූර්ත බ්‍රහ්මන් කිසිසේත් දත නොහැකි ය. භාරතීය දර්ශනයෙහි පිළිගෙන ඇති පරිදි බ්‍රහ්මන්ගේ එක් ප්‍රධාන ලක්ෂණයක් නම් එතුමා හැමකල්හි ස්ත්‍රී පරිහරණයෙන් තොර වීමයි.
මෙම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ අගය කර තිබේ. එපමණක් නොව එය බුදුරජාණන් වහන්සේගේ ද සුවිශේෂ ගුණයක් ලෙස දීඝනිකායයෙහි උන්වහන්සේ ම වදාරා තිබේ.
“අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී සමණො ගොතමො ආරාචාරී වීරතො මෙථුනා ගාමධම්මාති ඉති වා හි භික්ඛවෙ පුථුප්ජනො තථාගතස්ස චණ්නං වදමානො වදෙය්‍ය”
ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබ්‍රහ්මචර්යාව දුරුකොට බඹසර හැසිරෙන සේක. ගැමි දහමක් වූ මෙවුන්දමින් තොරව හැසිරෙන්නේය. මහණෙනි, මෙසේ පුථුජ්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේය. සිය ශ්‍රාවකයන් මෙවුන්දමින් වැළකී බඹසර හැසිරීම පිළිබඳව උන්වහන්සේ ඉතා ඉහළින් ප්‍රශංසා කළ සේක.
“තෙ සුසුකාල කෙසා භද්‍රෙණ යොබ්බණෙන සමන්නාගතා අනිකීළාවිනො කාමෙසු යාවජීවං බ්‍රහ්මචරියං චරන්ති” (ඒ භික්ෂූහු තද කළු කෙස් ඇත්තාහු නව යොවුන් වියෙන් යුක්ත වූවාහු කාම ක්‍රීඩාවන්හි නො යෙදුනාහු දිවි හිමියෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කෙරෙත්) බඹසර රැකීම භික්ෂූ ජීවිතයේ ප්‍රධානම අංගයක් බව එයින් පැහැදිලිවේ. මෛථුන සේවනය පළමුවෙනි පාරාජිකා ශික්ෂාවයි. එය කඩ කළහොත් භික්ෂුව පාරාජිකා බවට පත්වේ. පාරාජිකා යනු භික්ෂුභාවයෙන් පිරිහීමයි. එවිට භික්ෂුවක් ලෙස පෙනීසිටිය නොහැකි ය.
“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය අංගාරකාසුං ජලිතංව විඤ්ඤූ” (නැණවතා දැල්වෙන අඟුරුවළක් මෙන් අබ්‍රහ්මචර්යාව දුරුකළ යුතු ය. බුදුරදුන් තුළ බ්‍රහ්මචර්යාව කෙරෙහි පැවති පිරිසුදු අදහස එම ප්‍රකාශයෙහි පිළිබිඹු වේ. සුපිරිසුදු බ්‍රහ්ම චර්යාව නොමැතිව පිවිතුරු ලොවුතුරු මගේ නිදහස්ව යා නොහැකි ය. නිවණ යම්තාක් පිවිතුරු ද බ්‍රමහ්මචර්යාවත් එපමණට ම පිවිතුරු ය. කාමසේවනය බුද්ධිවර්ධනයට බාධාවක් නො වන බව බටහිර විද්වතුන්ගේ මතයයි.
එහෙත් ප්‍රඥා වර්ධනයට එය බාධාවක් බව බුදුදහමේ නිගමනයයි. ගිහියන්ගේ බ්‍රහ්මචර්යාව යාවජීව නො වේ. පොහොය දින අටසිල් හෝ දස සිල් සමාදන්ව සිටින පැය කිහිපයකට පමණක් එය සීමා වේ. එපමණක් වුවත් බෙහෙවින් ආනිශංස දායක ය. ආධ්‍යාත්මික ශික්ෂණයට මහෝපකාරී වේ. බුදුරජාණන් වහන්සේ මානව වර්ගයාගේ පැවැත්මට බාධා වන අයුරින් කිසිම ශික්ෂාපදයක් පනවා නැත.
කාන්තාවකගේ වරළස හෝ දෑත් දෙපා හෝ වෙනත් අඟ පසඟ පිරිමැදීම, ස්පර්ශ කිරීම භික්ෂූන්ට තහනම්ය, සංඝාදිසෙස ආපත්ති යටතේ මෙම නීතිය පනවා තිබේ. දෙවෙනි සංඝාදිසේස ආපත්තියෙහි මෙසේ සඳහන් වේ.
“යම්කිසි භික්ෂුවක් කායසංසර්ග රාගයෙන් යුතුව පෙරැළුනු සිතින් කාන්තාවකගේ අතින් ඇල්ලීම, වරළස ඇල්ලීම, අනෙක් අවයවයන් ස්පර්ෂ කිරීම සිදුකරයි ද සඟවෙසෙස් වේ.”
සංඝාදිසේස ආපත්තියකින් පාරිශුද්ධිය ලැබීම සඳහා ඉතා සංකීර්ණ පිළිවෙත් සමුදායයක් අනුගමනය කිරීමට සිදුවේ. මානත්ත, අබ්භාන ආදී දුෂ්කර ක්‍රියාමාර්ගයක් ඒ සඳහා නියමකර ඇත. අටසිල්, දස සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ද මෙම ශික්ෂාපදයේ අර්ථයෙහි බලපෑමක් ඇතිබව පෙනී යයි. ශීලසමාදානයෙහි යෙදී ගතකරන කාලය තුළ උපාසක උපාසිකාවන් ඔවුන්නොවුන්ගේ ශරීර එකිනෙකාට ස්පර්ශ වන පරිදි නො හැසිරිය යුතුය.
ස්වකීය ස්වාමිපුරුෂයා/බිරිඳ පවා ස්පර්ෂ කිරීම සුදුසු නො වේ. සිල් සමාදන්ව ගතකරන කාලය තුළ ස්වාමි භාර්යාවරු එකතැන එකට වාඩිවීමෙන් වැළකිය යුතු ය. ගේහසිත ප්‍රේමය වර්ධනයට එය හේතුවක් විය හැකි ය. සිල්සමාදන් වීම යනු හුදු චාරිත්‍රයක් නො වේ. ක්ලේශ ප්‍රහාණය සඳහා දෘඪ ප්‍රයත්නයකි.
බුදුරජාණන් වහන්සේ අබ්‍රහ්මචරියා ශික්ෂාපදය පැනවූයේ පුද්ගල පාරිශුද්ධිය ඇතිකිරීම සඳහාය. නිශ්චිත ශීලයක පිහිටි අවස්ථාවේදී පමණක් ස්ත්‍රී පුරුෂයන් අන්‍යෝන්‍ය ස්පර්ශයෙන් වෙන් වී සිටිය යුතු බව බුදුදහම පෙන්වා දෙයි. කාමසේවනයෙහි ආදීනව ජෛණ, අචෙලක ආදී භාරතීය ආගම්වල ද පෙන්වා දී තිබේ.
ප්‍රබල සදාචාරමය පදනමක් නොමැතිව කවර ආගමක් හෝ දර්ශනයක් ගොඩනැගිය නො හැකි ය. බඹසර හැසිරීමක් හඳුන්වා දී ඇත්තේ මිනිසා ප්‍රමාණය ඉක්මවා ලෞකික ආශාවන්ට ගැතිවීමෙන් වළක්වා ගැනීමට ය. එය සර්වසත්ව හිතගවේෂී ශාස්තෘවරයෙකුගේ පරම යුතුකමකි. තමන්වහන්සේ මිනිසා කැමති වන දෙය පමණක් නොව හිතකාරි නම් අකමැති වන දෙයත් පවසන බව ප්‍රකාශ කර තිබේ. බඹසර හැසිරීමෙන් යතිවරයන්ට මෙන්ම ගිහියන්ට ද මෙලොවම ලැබෙන සැනසිල්ල අපමණ ය.
මුසාවාදා වේරමණී ශික්ෂාපදය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,
ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි
ආර්ය මාර්ග ප්‍රතිපදාවේ තුන්වෙනි පියවර “සම්මා වාචා” නම් වේ. “සම්මා වාචා” යන්නෙහි සරල අර්ථය යහපත් වචනය යන්නයි. සරල අර්ථය මෙය වුව ද මේ තුළ ඉතා ගැඹුරු වූ දාර්ශනික අර්ථයක්ද අන්තර්ගත වන බව ඉතා දීර්ඝව විමසා බැලීමෙන් වටහාගත හැකි ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රි ශික්ෂාවට බෙදා දැක්වූ කල “සම්මා වාචා” අයත් වන්නේ සීල යන කොටසය.
“සීලය” යනු හික්මීමයි. කය වචනය දෙකේ සංවරයයි. ඒ අනුව වචනයෙහි සංවරය සම්වා වාචා නම් වේ. වචනයෙන් සිදුවිය හැකි ප්‍රධාන වැරදි කිහිපයකි. සංයුක්ත නිකායේ මග්ගවිභංග සූත්‍රයේ දී “සම්මා වාචා” යන්න පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ වචනයෙන් සිදුවන වැරදි පෙන්වා දී ඇත. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන මේවා ප්‍රධාන වශයෙන් සිදුවන වැරදිය. මේවායින් වැළකී නිවැරැදි වචන භාවිතය සම්වා වාචා නම් වන බව පෙන්වා දී තිබේ.
සම්මාවාචා යන්න ආර්ය මාර්ග ප්‍රතිපදාවේ තුන්වෙනි පියවර වුව ද ඒ සඳහා එහි පළමු පියවර වන සම්මා දිට්ඨිය පූර්වාංගම වන බව මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරිසක සූත්‍රයේ දී පෙන්වා දී තිබේ. සම්මාදිට්ඨිය යනු නිවැරදි දැක්මයි. මිත්‍යාදෘෂ්ටිය හෙවත් වැරදි අවබෝධයෙන් මිදීම යි. මෙහිදී පෙන්වාදෙන පරිදි වැරදි වචනය, වැරදි වචනය ලෙසත්, නිවැරදි වචනය නිවැරදි වචනය ලෙසත් අවබෝධ කර ගැනීමට උදව්වන්නේ සම්මා දිට්ඨිය යි. මේ නිසා යහපත් වචන ඇත්තෙකු බවට පත්වීමට නම් සම්මා දෘෂ්ටිකයෙකු හෙවත් නිවැරදි අවබෝධයක් සහිත පුද්ගලයකු වියයුතු බව අවධාරණය කොට තිබේ. සම්මා වාචා හෙවත් යහපත් වචනය යන්නට බුදුදහමෙහි භාවිත තවත් වචනයක් නම් “සුභාසිත” යන්නයි. මෙම පදය ත්‍රිපිටක පාළිය තුළ හමුවන අවස්ථා බොහෝ ය. ඒ අතරින් අංගුත්තර නිකායේ සුභාසිත වාචා සූත්‍රයේදී කරුණු 05 කින් යුක්ත වූ වචනය “සුභාසිත” නම් වන බව පෙන්වා දී තිබේ. එම කරුණු පහ නම්,
1. සුදුසු කාලයෙහි කතා කිරීම
2. සත්‍ය කතා කිරීම
3. හිතවත්ව කතා කිරීම
4. යහපත පිණිස කතා කිරීම
5. මෛත්‍රී සහගත සිතින් යුක්තව කතා කිරීම යන ඒවාය.
මෙම කරුණු පහෙන් සමන්විතව කතා කිරීම සුභාසිත වාචා නම් වන බව මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන් ම සුත්තනිපාතයේ සුභාසිත වාචා නම් වන බව මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන් ම සුත්තනිපාතයේ සුභාසිත සූත්‍රයේදී කරුණු හතරකින් යුක්ත වූ වචනය සුභාසිත වන බව තවදුරටත් පෙන්වා දී තිබේ.
1. යහපත් දෙයක් ම කීම, අයහපත් දෙයක් නොකීම. 2. යුක්ති සහගත වූවක් ම කීම, අයුක්තියක් නොකීම. 3. පි‍්‍රය වූවක් ම කීම, අපි‍්‍රය වූවක් නොකීම. 4. සත්‍ය වූ දෙයක් ම කීම, අසත්‍ය වූවක් නොකීම. එමෙන්ම බුද්දක නිකායෙහි බුද්දකපාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් මංගල සූත්‍රයේදී සුභාසිත වචන කතා කිරීම උතුම් මංගල කරුණක් වශයෙන් දක්වා තිබේ. වචනයේ නිවැරදි භාවය මෙසේ සම්මා වාචා, සුභාසිත වාචා යනාදියෙන් පෙන්වා දී ඇති අතර වචනයෙන් සිදුවිය හැකි වැරදි හා ඉන් වැළකීම එමඟින් අවධාරණය කොට තිබේ. එසේ වචනයෙන් සිදුවිය හැකි වැරදි අතරින් මුසාවාදය හෙවත් බොරුකීම හා එහි ආදීනව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. සම්මා වාචා, සුභාසිත වාචා තුළින් ඉතා පැහැදිලිව මුසාවාදයෙන් හෙවත් බොරුකීමෙන් වැළකීම පෙන්වාදෙනු ලබයි. බොරුකීමෙන් වළකිනවා යනු සත්‍යවාදී හා අවංක වචන ඇත්තෙකු වීමයි. තවදුරටත් මෙය විග්‍රහ කිරීමේ දී කුශලයේ වර්ධනය සඳහා වචන භාවිතා කිරීමත් අකුශලයේ ප්‍රහාණය සඳහා වචන භාවිතා කිරීමත් ය. සම්මා වාචා යනු වචනය යහපත වෙනුවෙන් භාවිතා කිරීමයි. අයහපත පිණිස භාවිතා නොකිරීමයි. මුසාවාදය තුළින් පුද්ගලයකු සිදුකරනුයේ තවත් කෙනෙකු හෝ පිරිසක් රැවටීමය. ඇත්ත ඇති සැටියෙන් නොපවසා මෙසේ තවකෙකු මුළාවේ දැමීම සත්‍ය දැනගැනීමේ අයිතිය නම් වූ මානව අයිතිය කඩ කිරීමකි. රැවටීම, වංචාව, කපටිකම ආදී සියලු පාපක්‍රියා මුසාවාදය තුළ අන්තර්ගත වේ. ඒ අනුව මුසාවාදය පුද්ගල ජීවිතයේ පරිහානියට මෙන්ම සමාජ පරිහානියට ද සෘජුව බලපානා මහත් වූ පාපකර්මයකි. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි සත්‍යවාදී වීමේ වටිනාකම දේශනාකොට තිබේ. කුමන වූ හේතුවක් මත බොරුකීම තුළින් අන් අයව රැවටීම ඉතා දැඩිව ගර්හාවට ලක්කොට ඇති අවස්ථා බොහෝ සෙයින් හමුවේ. සතර පාරාජිකාවන්ගෙන් එකක් වන උත්තරීමනුස්ස ධම්ම පාරාජිකා පන්තිය පණවනුයේ ද තමන් තුළ නැති ගුණ ඇතිකොට කියා මුසාවාදයෙන් අන් අයව රවටා ලාභ සත්කාර ලබාගන්නා දුස්සීල භික්ෂූන් සාසනය තුළ බිහිනොවනු පිණිසය. මෙම ශික්ෂාපදය කිසියම් භික්ෂුවක් කඩකරන්නේ නම් එම භික්ෂුවගේ භික්ෂුභාවය නැති වී යයි. ඔහුට නැවත කිසිවිටෙකත් භික්ෂුවක් වීමට වරම් හිමි නොවේ. මුසාවාදය සම්බන්ධයෙන් ඉතා වටිනා ඉගැන්වීමක් මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි ඇතුළත් වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට අඩක් දිය ඉතිරි වූ දිය බඳුනක් උපමා කරමින් මුසාබස් බිණීමෙහි අලජ්ජී වූ භික්ෂූන්ගේ ශ්‍රමණ ධර්මයේ ස්වභාවය පැහැදිලි කර දුන්හ. ඒ අනුව දැන දැන මුසාබස් බිණිමෙහි ලැජ්ජා නොමැති භික්ෂුවගේ ශ්‍රමණ ධර්මය පිළිවෙළින් පිරිහෙනුයේ අඩක් දිය පිරුණු දිය බඳුන මෙන්, දිය නොමැති දිය බඳුන මෙන්, යටිකුරු කළ දිය බඳුන මෙන් හා අවසානයේ උඩුකුරු කළ හිස් වූ දිය බඳුන මෙන් බව පෙන්වා දී ඇත. යටිකුරුකොට නැවත උඩුකුරු කරන ලද දිය බඳුනෙහි දිය නොමැති ව හිස් වූවාක් මෙන් දැන දැන මුසාබස් කියන අලජ්ජී භික්ෂුවගේ ද ශ්‍රමණ ධර්මය හිස්වන බව පෙන්වා දුන්හ. අවසානයේ දී යම්කිසිවෙකු දැන දැන මුසාබස් බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු හට කළ නොහැකි පවක් නොමැතිය යි වදාළහ. මේ අයුරෙන් මුසාවාදය සම්බන්ධයෙන් ඉතා දැඩි විනය ශික්ෂා පැනවීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ එම පාපකර්මයේ ඇති දරුණුකම හා එහි ආදීනව ඉතා මැනවින් අවබෝධකරගත් නිසා ය.
ගිහි ජීවිතය ගතකරන බෞද්ධයාගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. බෞද්ධ පඤ්චශීල ප්‍රතිපදාව යනු සදාචාරවත් සමාජයක පදනමයි. පඤ්චශීලය සුරකින පිරිසකගෙන් සමන්විත සමාජය යහපත් සමාජයක් බවට පත්වෙයි. සදාචාරවත් සමාජයක් බවට පත්වෙයි. යම් විදියකින් මෙම ශික්ෂාපද පහ කඩකරන්නේ නම් එම පුද්ගලයාද එම සමාජයද පරිහානියට පත් වෙයි. පඤ්චශීලයෙහි සිව්වන ශික්ෂාපදය මුසාවාදයෙන් වැළකීමයි. අනෙකුත් ශික්ෂාපද මෙන්ම මුසාවාද ශික්ෂාපාදය නොරැකීමෙන් බොහෝ පරිහානිකර තත්ත්වයන් පුද්ගලයා තුළත් සමාජය තුළත් උද්ගතවනු දැකිය හැකිය. මෙකී කරුණ වත්මන් සමාජයට ආදේශකොට බැලීමේදී සමාජයේ බොහෝ පුද්ගලයින් මුසාවාදීන් බවට පත්වී ඇති අයුරු දැකිය හැකි ය.
මේ නිසාම සමාජයේ සෑම අංශයකටම පාහේ පරිහානිකර තත්ත්වයක් උද්ගතවී ඇත. ආර්ථික,දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද ගත් කල ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ එදාට වඩා පරිහානිකර තත්ත්වයක් දැකිය හැකි ය.
ආයතනයක් පරිහානියට පත්වන්නේ එම ආයතනය තුළ විනයක් නොමැති කල්හි ය. විනය නම් හික්මීමයි. සංවරයයි. එම හික්මීම, සංවරය අව්‍යාජ වූවක් විය යුතු ය. එම අව්‍යාජ වූ හික්මීම ආයතන ප්‍රධානියාගේ පටන් සාමාන්‍ය සේවකයා දක්වා තිබිය යුතු ය. තමන් අව්‍යාජ නොවූ කල්හි ව්‍යාජත්වය වසන් කිරීමට විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදුවෙයි. මුසාවාදය යනු ඉන් එක් ක්‍රමයකි. ඇතැම් රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ පටන් සාමාන්‍ය සේවකයා දක්වා මෙකී ව්‍යාජත්වය දැකිය හැකිය. එපමණක් ද නොව තම ව්‍යාජත්වය වසන් කිරීමට මුසාබස් දහස් ගණනින් තෙපලනා මොවුහු නිර්මල නිකැලැල් පුද්ගලයන් සේ පෙනී සිටීමට ගනු ලබන්නේ මහත් වූ වෑයමකි.
මුසාවාදය හෙවත් බොරු කීම වර්තමාන සමාජය තුළ සාමාන්‍ය කරුණක් බවට පත් වී ඇති අයුරු දැකිය හැකිය. පාලකයින් මුසාබස් තෙපලනුයේ පාලිතයින් රවටා තම බලය තව තවත් තහවුරු කර ගනු පිණිස ය. එමෙන් ම තමන් විසින් මහා පරිමාණයෙන් සිදුකරන වංචා දූෂණ ඉදිරියටත් කරගෙන යාම පිණිසය. පාලිතයින් හෙවත් සාමාන්‍ය ජනයා මුසාබස් තෙපලනුයේ පාලකයින්ගේ ප්‍රසාදය දිනාගනු පිණිස ය. තව තවත් පාලකයන්ගෙන් වරදාන ලබා ගනු පිණිස ය. මෙසේ පාලක පාලිත යන උභය පාර්ශවය ම ඔවුනොවුන්ට මුසාබස් තෙපලමින් ඔවුනොවුන් රවටා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබීම මහත් වූ ඛේදනීය තත්ත්වයකි.
වරෙක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා දේශනා කළේ සම්පජාන මුසාවාදයෙන් යුක්ත වූ පුද්ගලයාට කළ නොහැකි පාපකර්මයක් නොමැති බවයි. සම්පජාන මුසාවාද නම් දැන දැන බොරුකීමයි. ඉතිවුත්තක පාලියෙහි සම්පජාන මුසාවාද සූත්‍රයෙහි අන්තර්ගත වන මෙම කරුණු අද අපට ඉතා මැනවින් පසක් වී තිබේ. දේශපාලකයින් සම්පජාන මුසාවාදීන් හෙවත් දැන දැන බොරු කියන්නන් බවට පත් වී සිටිති. බලලෝභී දේශපාලකයින් මුසාවාදයෙන් සමාජය රවටමින් තමන් සිදුකළ සිදුකරන මහා පරිමාණ වංචා දූෂණ වසාගනිමින් තවදුරටත් තමන්ගේ බලය රැක ගැනීමේ අරගලයක නියැළී සිටින අයුරු දැකගත හැකිය. දේශපාලනයේ දී මුසාවාදය අවියක්කොට ගෙන ඇත්තේ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. එකිනෙකා පරයා නැඟී සිටීමේ බල තණ්හාවෙන් මත්වූ දේශපාලකයින් බොහෝ සෙයින් තෙපලන මුසාබස් පැතිකඩ තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය.
සිදු නොවූවක් වුවා යැයි පැවසීම මෙන්ම සිදු වූවක් නො වූවා යැයි පැවසීම.
සිදු නොවන්නක් වෙනවා යැයි පැවසීම මෙන්ම සිදු වන්නක් නො වෙනවා යැයි පැවසීම.
මතු සිදු නොවන්නක් සිදු වෙනවා යැයි පැවසීම මෙන්ම සිදුවිය හැක්කක් නො වෙනවා යැයි පැවසීම.
දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන්ද රටෙහි සිදුවූ පරිහානිය පිළිගැනීමට බොහෝ දේශපාලකයින් තුළ කැමැත්තක් නොමැති බව පෙනී යයි. එබැවින් ඔවුහු මුසාබස් තෙපලති. දේශපාලනයේ දී දේශපාලකයින් බොහෝ සෙයින් මුසාබස් තෙපලනුයේ එකිනෙකාට මඩගැසීමේ මඩ දේශපාලනයේ එක් අංගයක් වශයෙන් මෙන්ම තමන් සිදුකළ මහාපරිමාණ දූෂණ, වංචා, වැරදි වසා ගනිමින් තවදුරටත් බලය රැකගැනීමේ බලකාමිත්වයෙනි. ද්වේෂය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව වැනි පාපී චේතනාවන් මෙහෙය වනුයේද මුසාවාදයටයි. මුසාබස් පවසනුයේ අනෙකාගේ දියුණුව දැක ඔහු කෙරෙහි හටගත් ඊර්ෂ්‍යාවෙන් එම තැනැත්තාව විනාශ කිරීමට ය. එසේ නැතිනම් යම්කිසි කරුණකට පළිගැනීමටයි. දේශපාලකයින් මේ සඳහා බොහෝ උපක්‍රමද භාවිතා කරනු ලබයි. ඇතැම් දේශපාලකයින් මාධ්‍ය තුළ මුසාවාද සංදර්ශන ද පවත්වනු ලබති. මේවා දෙස ඇස්කන් අයා නිදිවර්ජිතව බලාසිටින අනුවණයෝ ද සිටිති. ඔවුහු මේවා ඉස්මුදුනින් පිළිගනිති. අදහති. විශ්වාස කරති. මෙවන් අනුවණයින් බොහෝවිට සත්‍ය පසක් වුව ද එය සත්‍යවශයෙන් පිළිගැනීමට මැලිවෙති. මොවුහු මුසාවාදයෙන් තමන් තමන්ව රවටා ගන්නවා සේම අන් අය ද රැවටීමට උත්සාහ දරති. මෙය දේශපාලනයට අද අත්ව ඇති අනුවේදනීය තත්ත්වයයි.
මුසාවාදය තුළින් රටෙහි දේශපාලකයින් පිරිහෙන්නේ යම්සේ ද ඒ හා සමානවම රටෙහි ආර්ථිකය ද පරිහානියට පත්වෙයි. රටෙහි ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ දේශපාලකයින් විසිනි. බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ දේශපාලකයින් හරහා ය. මේ අනුව දේශපාලකයින් විසින් සිදුකළ, වංචා, දූෂණ මුසාවාදය තුළින් යටපත් කරගැනීමේ ඊළඟ අවාසිය සිදුවන්නේ රටෙහි ආර්ථිකයටයි. මෑතකාලීන දේශපාලනය තුළ දේශපාලකයින් විසින් ආර්ථිකමය වශයෙන් සිදුකළ වංචා, දූෂණ බොහෝ ය. මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම් මෙන්ම අනෙකුත් සම්පත් වංචා කිරීම්ද සිදුවිය. ඇතැම් අවස්ථාවලදී මෙබඳු මහා පරිමාණ වංචා, අපරාධ ඉතා රහසිගතව සිදුකළ අතර බොහෝ වංචා දූෂණ සිදුකළේ එළිපිටය. මැරවැරකම් මඟින් තමන් සිදුකරන වංචා දූෂණයන්ට එරෙහි වන්නන් මැඬපැවැත්වීමට මෙම දේශපාලකයින් සමත් වූ අතර නීතිය හමුවේ කුමන හෝ උපක්‍රමයකින් ඉන් ගැලවීයාමට ද සමත් වූහ. රටෙහි සංවර්ධනයට මුවා වී මොවුහු මෙලෙස මහාපරිමාණයෙන් වංචා, දූෂණ සිදුකළා මෙන් ම තම බලය රැක ගැනීමේ බලකාමී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ද වංචා, දූෂණ සිදු කළහ. මොවුන් මෙසේ මහාපරිමාණයෙන් වංචා කළේ රටෙහි ආර්ථික සම්පත්ය. එතුළින් රටෙහි විශාල ආර්ථික පරිහානියක් සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ වුවද මුසාබස් තෙපලමින් තවදුරටත් තමන් කළ වැරදි සඟවා ගනිමින් බලයේ රැඳී සිටීමට මොවුහු දරන ප්‍රයත්නය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු ය.
දේශපාලනයේ හා සහ ආර්ථිකයේ පරිහානියට මුසාවාදය යම් තරමකින් බලපාන්නේ ද ඒ හා සමානවම රටෙහි සංස්කෘතික පරිහානියට ද මුසාවාදය බලපායි. කිසියම් රටක, ජාතියක සංස්කෘතිය යනු එම රටෙහි ජාතියෙහි කැඩපතයි. සංස්කෘතිය යම් විදියකින් පිරිහෙන්නේ ද එම රට ද එම ජාතිය ද පරිහානියට පත්වෙයි. සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ සදාචාරය, සභ්‍යත්වය මතය. එබඳු සභ්‍යත්වයෙන් යුතු සදාචාරවත් සංස්කෘතියකට හිමිකම් කී ජාතියකි ශ්‍රී ලාංකීය ජාතිය. එහෙත් නිදහසින් පසු වර්තමානය දක්වා ගත වූ කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතිය ක්‍රමයෙන් පරිහානියට පත්වනු දැකිය හැකිය. අවංකත්වය, සාධාරණත්වය, යුක්ති සහගත බව පසක ලා සැමවිටම අනුන් රවටා තම මඩිය තරකර ගැනීමට උත්සාහ දරන පටු ආත්මාර්ථකාමී මිනිසුන් බහුලවීම මෙකී සංස්කෘතික පරිහානියට බලපෑ මූලික හේතුවයි. මුසාවාදයෙන් පිරිහී ඇත්තේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ. සදාචාරයට සභ්‍යත්වයට සංස්කෘතිකත්වයට මඟ පෙන්වන ඇතැම් ආගමික නායකයින් ද නියෝජිතයින් ද මුසාවාදයෙන් පරිහානියට පත්ව තිබේ. ආගමික නායකයින් සැමවිටම ආධ්‍යාත්මික පෝෂණයෙන් යුක්ත වූ ශික්ෂිත පුද්ගලයින් විය යුතු ය. එහෙත් වර්තමානයේ ජනසමාජය තුළ එබඳු ආගමික නායකයින් දැකිය හැක්කේ අතළොස්සකි. මෙම කාරණය බෞද්ධ භික්ෂූන්ට ද පොදු වුවකි. බෞද්ධ භික්ෂූන් යනු සදාචාරවත් සමාජයකට ආධ්‍යාත්මික නායකත්වය දෙන පිරිසකි. එනමුදු වර්තමානයේ බිහිවී සිටින ඇතැම් බෞද්ධ භික්ෂූන් බොහෝ සෙයින් පිරිහී ඇති සෙයකි. ඇතැම් භික්ෂූන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය භික්ෂූත්වයට නොගැළපෙන ගර්හිත මිත්‍යා ක්‍රියාකාරකම්වල නියැළෙමින් මුදලට ගිජුව කටයුතු කරනු දැකිය හැකිය. භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් ගිහියන් සේ කටයුතු කරන මොවුහු තැන තැන තවමත් සිටීම ශාසනික පරිහානියට හේතුවකි. මුසාබස් තෙපලමින් ධර්මය විකෘති කරමින් ශාසනික සම්ප්‍රදායට පටහැනිව ක්‍රියා කරන මෙම අලජ්ජී භික්ෂූහු අධිසුඛෝපභෝගි ජීවිත ගත කරමින් සම්බුද්ධ ශාසනයට සිදු කරනුයේ අති මහත් හානියකි. ඛේදනීය තත්ත්වය නම් මොවුන් ශාසනික සම්ප්‍රදායන් නිර්භයව විවේචනය කරමින් විවිධ වූ මිථ්‍යා මතවාද මිනිස් සමාජය තුළ පැතිරවීමය. එමෙන්ම මොවුන්ගේ මුසාබස් ඉස්මුදුනින් පිළිගෙන ඒ ඔස්සේ කටයුතු කරන විශාල අනුගාමිකයින් පිරිසක් ද කලින් කලට බිහිවීම කනගාටුදායක කරුණකි. මෙම කරුණෙහිලා උත්තරිමනුස්සධම්ම පාරාජිකාපත්තිය යළිඳු සිහිපත් කරනු කැමැත්තෙමි.
මෙහිදි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් සිහිපත් කරනු කැමැත්තෙමි. සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ දී පෙන්වාදෙන පරිදි යම් කිසිවෙකු ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන් මුසාවාදයෙන් රවටයි නම් එය පිරිහීමට හේතුවන ප්‍රධාන කරුණුවලින් එකකි. මුසාවාදය මහත්ම පාප කර්මයකි. දැන දැන මුසාබස් පවසන පුද්ගලයාට කළ නොහැකි පාපකර්මයක් නැතැයි යන සම්බුද්ධ දේශනාව මෙහිලා යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂා පදය
මහාචාර්ය කොටපිටියේ
රාහුල අනු නා හිමි
දඹදිව හිමාල වනයෙහි එක් පෙදෙසක පිහිටි වෘක්ෂයක් මඳක් උස් වූ තැන අතු තුනකට බෙදීයාමෙන් ඒ අතරෙහි මහත් සැලියක් පමණ වලක් ඇතිවිය. වැසි වස්නා කාලයෙහි එය ජලයෙන් පිරී ගියේය. ඒ ගස අවට අරළු ගසක් ද නෙල්ලි ගසක්ද, ගම්මිරිස් වැලක්ද පිහිටි බැවින් ඒ ගස්වල පැසුණු ගෙඩි වැටෙන විට ඒ ගස් බෙනයටද වැටුනාහ. ඒ අසලම ඉබේම හටගත් ඇල්වී තිබුණ බැවින් ගිරවූ කරල් ගෙනවුත් යටකී ගසේ අතුවල හිඳ කනවිට වී ඇට සහ සහල් ඇට එහි වැටුණාහ. මෙසේ ගස් බෙනයේ වු වතුර අවුවෙන් කැකෑරී ලේපාට විය.
උෂ්ණ කාලයෙහි පිපාසිත වු පක්ෂීන් ඒ ජලය බී මත්ව ගසමුල වැටී ස්වල්ප වේලාවක් හිඳ ශබ්ද කෙරෙමින් පියාඹත්. අන්‍ය සත්වයෝද මේ පැන් බී මෙසේ මත්ව සිට ගියහ. අතීතයෙහි දඹදිව කසී රට වැසි නම් වනයෙහි හැසිරෙන සුර නම් මනුෂ්‍යයෙක් ඇත්දත් ආදිය සෙවීම පිණිස හිමවතට ගියේය. ඔහු මෙතැනට පැමිණ මේ ජලය විෂ සහිත වී නම් මොවුහු මරණයට පත්විය යුක්තාහ. මොවුන් ටිකක් නිදා සිට යන බැවින් මෙය විෂක් විය නොහැකි යයි කල්පනා කොට තමාද බීවේය.
අනතුරුව මත් වූයේ මස් කනු කැමතිව ගිනි මොලවා ගසයට වැටී සිටි වලිකුකුල් වටු ආදින් මරා පුළුස්සා මස් කා දෙතුන් දිනක් එහිම විසීය. ඊට නුදුරු තැනක වරුණ නම් තාපසයෙකු වෙසෙයි. ඔහු සමීපයට පැමිණ මේ පානය තාපසයන් සමගින් බොන්නෙමි”යි සිතා හුණ පුරුකක ඒ ජලය පුරවා පුළුස්සන ලද මස් සමඟ තාපසයා වසන තැනට ගෙනගොස් දෙදෙනාම එක්වී මස් කමින් පානය කළහ.
මින් පසු මේ දෙදෙනා උණ නළවල මේ ජලය පුරවා ප්‍රත්‍යන්තයෙහි නුවරකට පැමිණ ඒ කාරණය රජහට දැන්වූහ. රජ තෙමේ එය ගෙන්වා දෙතුන් වරක් පානය කොට ඔහු ද මත්විය.ගෙනෙන ලද සුරා දෙතුන් දිනකින් අවසන් වු බැවින් තවත් ඇද්දැයි ඇසු විට මහරජ හිමාලයේ ඇතැයි කියා දෙතුන් වරක් ගෙනවිත් දී නිතරම යෑම අපහසු බැවින් ගස් බෙලෙයෙහි තිබූ ද්‍රව්‍යයක් බලා ඒ ගසේ පොතුද ගෙනවිත් උවමනා දේ සම්පාදනය කොට නුවර තුළදී මේ පානය සෑදූහ. පිළිවෙළින් නුවර වැසියෝද මත්පැන් බොන්නට පටන්ගෙන වෙළෙදාම් ගොවිකම් ආදි කර්මාන්ත නොකිරීමෙන් දුප්පත් වූහ.
කුම්භ ජාතකයෙහි එන මෙම ප්‍රවෘත්තියෙන් සුරාව ආරම්භ වී ඇති ආකාරය සිතාගත හැකිය. මුලදී පානය කොට අත්දැකීම් ලත් සුර නම් වූ එම පුද්ගලයාගේ නමින් එවක් පටන් සුරා යන්න ව්‍යවහාර විය. වරුණ තාපසයා විසින් දෙවැනිව බොන ලද බැවින් වරුණ යන නාමය ද සුරාවට ව්‍යවහාර විය.
රහමෙර පානය පුද්ගල අසහනය පිණිස හේතුවන ක්‍රියාවකි. එම අසහනය හේතුවෙන් තව තවත් අසහනයන් ඇතිවන අතර ඒ ඒ අසහනයන් හේතුවෙන් වෙනත් අසහනයන්ද උද්ගත වේ. එබැවින් පුද්ගලයාට හා සමාජයට හානිකරන කාර්යයක් ලෙස සුරාපානය හැඳින්විය හැකිය.
සිතෙහි ස්වභාවය හා චර්යාව කෙරෙහි සුවිශේෂ බලපෑම් ඇතිකරන සුරාව නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිතීම හැගීම් ඇතිකිරීම, පරිසරය, ග්‍රහණය කර ගැනීම මතක තබා ගැනීම හා ස්වේච්ඡාවෙන් යමක් කිරීම යන සිතට ඇතුළත් ක්‍රියාවන් මොට කරන වැරදි මාර්ග ඔස්සේ මෙහෙයවන පුද්ගල පරිහානිය පිණිස හේතුවන ක්‍රියාවකි.
උක්ත ක්‍රියාවෙහි ඇති බරපතළකම මීට වසර දෙදහස් පන්සිය පනහකට පෙර තථාගත බුදුරජාණන් වහන්සේ දුටුසේක. බුද්ධ දේශනාව අනුව පන්සිල්, අටසිල්, දසසිල් වැනි ශීල ප්‍රතිපත්තිය එක් ප්‍රතිපදාවක් වශයෙන් සුරාමේරයෙන් වැළකීම දක්වා තිබේ. එයින් පැහැදිලි වනුයේ කෙනෙකුගේ ජීවිතය වැරැද්ද කෙරෙහි යොමුවිය හැකි ප්‍රධාන කරුණු අතරින් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ සුරාව දක්වා ඇති බවයි. තවද සුරාව තෘප්තියක් ලැබිය නොහැකි නිතර නිතර ඒ කෙරෙහි පොළඹවන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. (සුරාමේරය පාතස්ස භික්ඛවෙ නත්ථි කිත්ති) එබැවින් යමකින් තෘප්තිමත් විය නොහැකි නම් එය අසහනයට හේතුවකි. අසහනය ඊළඟ ගැටලුවට හේතුවකි.
සුරාවෙන් උද්ගතවන ගැටලු සිඟාලෝවාද සූත්‍රයෙහි බුදුරදුන් පැහැදිළි කළහ. මුදල් වියදම් වීම කෝළාහල ඇතිවීම, නොයෙක් රෝග ඇතිවීම, නුසුදුසු ක්‍රියාවන්හි නිරතව අපකීර්තිය පැතිරීම, ලජ්ජා භය නැතිවීම හා ප්‍රඥාව දුරුවලවීම ආදි වශයෙන් එහි ආදීනව හඳුන්වා දුන්හ. වත්මනෙහි අප දක්නා ආකාරයට මත්පැන් ලෝලීත්වය පැහැදිලවම මෙම ක්‍රියාවන් සිදුකිරීමට පොළඹවන බරපතළ වැරැද්දක් බව හොඳ හැටි තේරුම් ගැනීමට සාධක තිබේ.
රහමෙර පානය ආඥානයන්ගේ ක්‍රියාවකි. ඥානවන්තයෝඑබඳු උමතු බව ඇතිකරවන ,මුලාවීමට පත්වන පහත් ක්‍රියාවලට පොළඹවන දුෂ්චරිතයන්ට ආකරයක් බඳු රහමෙර පානය දුරුකළ යුතු බව සුත්ත නිපාතගත ධම්මික සූත්‍රයේ සඳහන්වේ. (මධානි පාපානි කරොන්ති බාලා කරෝන්තිව අඤ්ඥේසි ජනෝ සමත්තේ ඒතං අපඤ්ඤායතනං විපජජයේ උම්මාදනං මෝහනං බාල කන්තං) එබැවින් අකුසලයන්ට ආයතනයක් බඳු උමතුවට පත්කරවන මෝහයන්ට පත්කරන දෙයින් වැළකිය යුතු බවත් එබඳු අයගේ එවැනි ක්‍රියා සමාජය අනුමත නොකළ යුතු බවත් පැහැදිලිය.
පරාභව සූත්‍රයට අනුව සුරාපානය පුද්ගලයා පරිහානියට පත්කරවන ප්‍රධාන කරුණු අතරින් එකකි. එය ධන හානියටද හේතුවකි. එපමණක් නොව මදයට හා ප්‍රමාදයට හේතුවන දෑට යොමුවීම තුළින් තමාගේ මුල තමා විසින් සාරා ගැනීම් බඳුය. එය තමා ජීවත්වන සමාජයට බරපතළ හානි ඇතිකරන ක්‍රියාවකි.
පළමුව තම නිරෝගි බව වර්ධනය කර ගැනීම බෞද්ධ මෛත්‍රී භාවනාවේ මූලික ලක්ෂණයකි. දෙවනුව තමා වටා ඇති සෙසු සමාජයේ නිරෝගි බව සුඛිත මුදිත බව අපේක්ෂා කෙරේ. මතට ගොදුරුවූ විට මෙම අංග දෙකම ක්‍රියාත්මක කළ නොහැකිය.
මේ අනුව පුද්ගල අසහනය පිණිසත් සමාජ අසහනය පිණිසත් සුරාව හේතුවන බව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළහ. මෙම වෙසක් සමයෙහි සුරාවෙහි ආදීනව දැන එය දුරින් දුරු කෙරෙත්වා .
විකාලභෝජනා වේරමණී ශික්ෂා පදය
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
උපකුලපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි
ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු බෞද්ධ පිළිවෙතක් ලෙස සීලය හඳුන්වා දීමට පුළුවන්. සීලයෙන් අදහස් කරන්නේ හික්මීමයි. එය තවදුරටත් විස්තර කරනවා නම් තමන්ගේ කයින් හා වචනයෙන් සිදුවන සියලුම ලාමක පාප ක්‍රියාවන්ගෙන් වෙන් වීම වගේම ඊට ප්‍රධාන ම බලපෑම දනවන සිත පාලනය කර ගැනීම මෙම සීලයෙන් මූලිකව ම අදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට මේ සීලය හඳුන්වා දී තිබෙන්නේ අන් කවරම හේතුවක් නිසා නොව උන්වහන්සේ පෙන්වා දුන් සදාකාලික සැනසීම ගෙන දෙන නිවනට අයත්මාර්ගයේ ගමන් කිරීම වඩාත් පහසු කරන්නේ මේ ශීලය නිවැරදිව ආරක්ෂා කිරීම වන නිසාය.
සිල්වත් බව නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ නිසාම සිත නිවැරදි මාර්ගයට ගෙන යාමට හේතු වෙනවා. මේ නිසා ගිහි පැවිදි අප දෙපක්ෂයේ ම පිරිස බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දී ඇති ආර්ය මාර්ගය අරමුණු කරන අය වන නිසා මෙම සීලය එම අරමුණට ළඟා වීමට අවශ්‍ය ශක්තිය උදා කරන ප්‍රධාන බලයක් බවට පත්වන නිසා මේ දෙපක්ෂයට බෙදා වෙන් කර ඇති සීලය සැබවින්ම ම එකම මාර්ගයක ගමන් කරන අතර පැවිදි පක්ෂයට එය යාවජීව ලෙසත් ගිහි පක්ෂයට එය විශේෂ දිනයන්ට සීමා වන කාලනියමයකට අනුව වෙනස් වන බව උන්වහන්සේගේ දේශනවන්ගෙන් පැහැදිලි වෙනවා.
මෙහිදී අපේ අවධානයට යොමු වන්නේ විකාල භෝජනා වේරමණී සික්ෂා පදයයි. මෙයින් අදහස් කරන්නේ විකල්හි හෙවත් නො කල්හි ආහාර ගැනීමෙන් වැළකීමයි. මෙහි නො කල්හි යනුවෙන් කියවෙන්නේ අවේලාවයි. භික්ෂූන්ට හා අෂ්ඨාංග හා දසසීල ආදි සීල සමාදානයෙහි නියුතු ගිහි ප්‍රජාවටම මේ අවේලාව මධ්‍යහ්නයේ හිරු අවරට හැරෙන මොහොතේ සිට පසු දින හිරු උදාව දක්වා කාලයයි. ඒ අනුව සම්මතය බැලුවොත් අද දවල් 12.00 පමණ (මේ වෙලාව 12.30 පමණ අතර කාලය විය හැකිය) පහු වී පසුදින අලුයම් 5.00 එපමණ වන (මෙය ද පෙ.ව. 5.50 සිට 6.30 පමණ විය හැකිය) කාල සීමාවයි.
ඇයි? මෙහෙම දේශනාවක්, නියමයක් බොදු සීලය ප්‍රතිපදාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ කියා පළමුවෙන්ම විමසා බැලිය යුතුව තිබෙනවා. දෛනිකව හෝ දිවි ඇතිතාක් වශයෙන් සීලමය ප්‍රතිපදාව සමාදන් වී එය සපුරන පිරිස ගිහි පැවිදි වශයෙන් අපට වෙන් කර දක්වන්නට පුළුවන්. සිල්වත් තැනැත්තාගේ බාහිරව අප දකින ලක්ෂණයක් තිබෙනවා. සිල් සමාදන්ව පොහොය දවස වාගේ දින වෙන් කර ගෙන කටයුතු කරන ගිහි ජනතාව සුදු වස්ත්‍රයෙන් සැරසී එදින සිල් රැකීමට යොමු වීම අපේ රටේ බොහොම පැහැදිලිව අපි දකිනවා. වෙනත් ථේරවාද රටවල වුවත් ගිහි පිරිස් පිළිබඳව මීට ම සමාන තත්වයක් අපි දකිනවා එයින් කියැවෙන්නේ බාහිර පෙනුමේ ඇති සරල බවයි. විවේක ස්වභාවයයි. සරල ජීවිතයයි. දිවි ඇතිතාක් හෙවත් යාවජීව වශයෙන් මහණදම් පුරන පැවිද්දා හෙවත් භික්ෂුව කහවර්ණයෙන් සැරසී සිටිනවා. මෙම අවුරුදු දෙදහස් ගණනක සිට පැවත එන එකම අනන්‍ය වෙනස් නොවුණු වස්ත්‍රයයි. මෙයින් කියැවෙන්නේ ද ඒ අදහසයි. ඉතින් එහෙම නම් වැඩ බහුල ජීවිතයක් මේ දෙපක්ෂයටම තිබෙන්නට පුළුවන් කමක් නැහැ. භික්ෂුවට දිනකට තුන් වතාවක්ම තම යැපීමට පිඬු පිණිස හැසිරෙන්නට සිදු වූවොත් උදේ කාලයත් සවස කාලයත් යන දෙක ම ඒ වෙනුවෙන් වෙන් කිරීම තුළ මහණ දම් පිරීමට හෝ ගිහි සිල් පුරන තැනැත්තාට සිල් පිරීමට බණ භාවනා කිරීමට කාලයෙන් හරස් වීමක් වෙනවා.
අනික් කාරණය ඉතා වැදගත් වෙනවා. නො කල්හි ආහාරය යන්නෙන් අදහස් වන පරිදි සවස හෙවත් රාත්‍රි ආහාරය මෙයට ඇතුලත් වෙනවා. ඒ තුළ ථීනවමිද්ධය හෙවත් උදාසීන බව නිදිමත ගතිය වැඩි වෙනවා. නිරෝගී බව දුරුවෙනවා. ශරීරය තුළ ලෙඩරෝග බහුල වෙනවා. රුව පෙනුම පැහැය දුර්වර්ණ වී නොයෙක් ආකාරයෙන් ශරීරයේ බාහිර පෙනුම පවා අවලස්සන වෙනවා. මෙය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා. කකචූපම සූත්‍රයෙන්, මේ සූත්‍රයෙහි ද,ී බුද්ධත්වයට පත්ව වර්ෂ විස්සක වැනි දීර්ඝ කාලයක් ඉක්මුණු පසුව බුදුරජාණන් වහන්සේ මහණෙනි, මම දන් වැළඳුවේ දවසට එක් වතාවක් පමණයි. ඒ පෙරවරු කාලයයි. ඒ කාලයේ මගේ ශ්‍රාවකයෝද ක්‍රියා කළේ ඒ විදියටයි. එහෙම වුණහම නිරෝගි බව, සැහැල්ලු බව, ශරීර ශක්තිය, දැඩි බව, පහසුවෙන් ජීවත් විය හැකි බව, නිදුක්බව, හොඳටම දැණුනා. දැනුත් මම නම් එහෙමයි . ඒ කාලයේ මගේ ශ්‍රාවකයන් පිළිබඳ විනය ගැටලුවක් නම් ඇති වූයේ නැහැ. මට තිබුණේ යමක් පිළිබඳ සිහිපත් කිරිම පමණයි. බුද්ධත්වයෙන් පසු ගැටලුවක් නම් ඇති වූයේ නැහැ. මට තිබුණේ යමක් පිළිබඳ සිහිපත් කිරීම පමණයි. බුද්ධත්වයෙන් ගෙවී ගිය වර්ෂ විස්ස තුළ එහෙම නැත්නම් ප්‍රථම බුද්ධෝත්පාද කාලය එහෙමෙහි ගෙවුණේ. හැබැයි දැන් එහෙම නැහැ. නිතර විනය පැනවීම් කරන්නට වෙනවා. ඒ නිසා නුඹලාත් එය නිතර සිහියේ පිහිටුවා ගෙන ක්‍රියා කිරීමෙන් මේ තත්වය දිගටම රැක ගන්නට හැකියාව ලැබෙනවා.” යන මේ කරුණයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කර දක්වා තිබෙන්නේ. මේ වාගේම දේශනාවක් භද්දාලි සූත්‍රයෙන් අපට දකින්නට පුළුවන්. මේ භද්දාලි සූත්‍රයෙන් කියැවෙන්නේ අපූරු කථාවක්. බුදුරජාණන් වහන්සේ භද්දාලි භික්ෂුව ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ සැවැත්නුවර ජේතවනාරාමයෙහි දී රැස් වී සාකච්ඡාවක් කරමින් සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා” මහණෙනි මම පෙරවරුවෙහි පමණක් දානය වළඳනවා. එතකොට රෝග පීඩා හටගන්නවා බොහෝම අඩුයි. ශරීරයට සැහැල්ලු බවක් දැනෙනවා. සුවදායක බවක් දැනෙනවා. ඔබලාත් ඒ පිළිවත ම ඒ විදියටඅනුගමනය කරන්න. පෙරවරු බතෙන් පමණක් යැපෙන්නට බැරි බව භද්දාලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද මෙවැනි ශික්ෂාපද අනුගමනය කරන්නට බැරි බව පැහැදිලිව ප්‍රකාශ කළා භද්දාලි භික්ෂුවට කලක් ගියායින් පසුව භික්ෂූ සමාජයෙන්ද කොන් වීමට සිදු වුණා. පසුව එම භික්ෂුව වරද නිවැරදි කර ගත් ආකාරය එහි කියැවෙනවා. මෙයින් පැහැදිලි වන්නේ පෙරවරුවෙහිම ආහාර ගැනීමට පුරුදු වූ අයෙකුට මෙම පෙරවරු බතින් පමණක් යැපීමට ඇති දුෂ්කරතාවයයි. එම දුෂ්කරතාව ජයගැනීම තුළ ආනිසංස රැසක් එකතු වෙනවිට එය අත්හැරීමටත් හැකි වෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ විදියට මෙම ආහාර ගැනිමේ සීමාවන් විවිධ අවස්ථාවල පෙන්වා දී තිබෙන්නේ කයෙහි සංවර බව ඉන්ද්‍රිය දමනය ඇරමුණූ කර ගෙනයි. වරක් කච්චායන මහරහතන් වහන්සේ වෙත පැමිණුන සෝණ කුටිකණ්ණට මේ පැවිද්දේ දුෂ්්කරතාව පෙන්වා දුන්නා. එහිදී උන්වහන්සේ කියා සිටියේ උදේ සවස ආහාර බුදිමින් ශරීරයට සුවදායක වන ආකාරයෙන් ගතකරන උදවියට මෙම මහණකම රැකීම දුෂ්කර වන බව, ඒ වගේම එය පැහැදිලි කළ උන්වහන්සේ පැවිදි බවට අවශ්‍ය සිල් පුරනවා නම් ආහාර ගැනීම පෙරවරුවෙහි පමණක් සීමා වන බවයි. එවිට එය කය සංවර වීමට හේතුවන අදහසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
ගිහි ජිවිතය ගත කරන අයගේ මේ ආහාර ගැනීම පිළිබඳ සිත් කාවදින අදහසක් බුදුරජාණන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දේශනා කර තිබෙනවා. දිනක් බොහොම සරුවටආහර ගත් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ දකින්නට මධ්‍යහ්නය ගෙවීයත්ම පැමිණියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙකට වී හිඳගත් රජතුමාට තදබල නිදිමත ගතියක් දැනුනා, රජතුමා ඈත මෑත නැමෙමින් ඈණුම් අරිමින් නිදිමතෙන් බොහෝ ආහාර ගැනීම නිසා ඇති වු අපහසුව මගහරවා ගන්නට බැරි වී මෙසේ සිටින බව බුදුරජාණන් වහන්සේට පැහැදිලි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මෙසේ අලස බවෙන් යුතුව බොහෝ කොට ආහාර ගනිමින් මහත් වු තර ඌරෙකු වගේ සිටින,අලස බවෙන් යුක්ත පුද්ගලයා නැවත නැවත ඉපදී. ඉපදී මැරි මැරී සසර දිගු කර ගන්නා බව, මේ අනුව ගිහි පැවිදි දෙපක්ෂයටම සිල් පිරීමට අදාළ වන මෙම ශික්ෂාපදය නිසා කයෙහි සංවර බව මෙන්ම සිල් පිරීම තුළින් ආර්ය මාර්ගය අරමුණුූ කර පිළිවෙත් සරුව ජීවිතය ගත කිරිම බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය නීරෝගි බව හා සැහැල්ලු බව ද රැකෙන බව කිව යුතුව ඇත.
නච්ච - ගීත - වාදිත විසූකදස්සන -මාලාගන්ධ විලේපන - ධාරණ -මණ්ඩන - විභූසනට්ඨානා වේරමණී ශික්ෂා පදය
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක
තිරිකුණාමලේ
ආනන්ද මහා නා හිමි
“නැටීම් - ගී ගැයීම් - බෙර ඈ (වාදන) වැයීම් විහිළු දසුන් දැකීමෙන්ද මල් සුවඳ ද්‍රව්‍ය විලවුන් දැරීමෙන් ද කයේ ලප කැලැල් හැර සැරසීමෙන් ද සම පැහැපත් කිරීම් හා අලංකරණ කිරීමෙන් ද වැළැකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි” යනු එහි අර්ථ යි.සිල් සමාදන් වන උවසුවා වේවා, උවැසියට වේවා, ඉහත කී කරුණු කුසල් වැඩීමට දියුණු කිරීමට, කාමයන්ගෙන් සිත වෙන් කැර තැබීමට බාධා කරන දහම් වෙයි. එමඟින් සිදු වනුයේ සිත කාමයට ඇදී යෑමෙකි. රාගයට ළං වීමෙකි. සිත කෙලෙසුන්ගෙන් නිදහස් කැරගෙන, නෛෂ්ක්‍රම්‍යය වඩන තැනැත්තාට ඉහත සඳහන් ශික්ෂාපදයෙන් ද මහත් ආවරණයක්, සංවරණයක්, කෙලෙස් දුරු කිරීමක් සිදු කෙරෙයි.
නැටුම් - ගැයුම් - වැයුම් - දසුන් සමස්ත වශයෙන් විසුළු දසුන් ලෙස අටුවාහි දැක්වේ. නළුවකු හෝ නළු - නිළි සමූහයක් හෝ එක්ව කරන විවිධ ප්‍රභේද වූ නර්තන - රංගන, මහාභාරත – රාමායණාදි කථා කීම හා ඇසීම, අතින් බෙර ගැසීම, අත්තල ගැසීම, වේතාල (ලීමුවා තාලම් පට ගැසීම හෝ මන්ත්‍ර ජප කොට මළ සිරුරු නැඟිටුවීම), කුම්භථූන (සිවුරැස් බෙර වැයීම) ශෝභනක (රඟ මඬලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර ගායනය, සණදොවුන් කෙළිය, අස්ථි ධෝවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා නැකැත් සමයේ දී ඒ වටා සිට උත්සව කිරිම, ඇත් යුද (ඇතුන් පිට නැඟ යුද්ධ කිරීම), අස් යුද, ඇත් - අස් - මීහරක් - ගොන් - එළු - බැටළු - කුකුළු, වටු ආදී සතුන් යොදා කරන පොර, බලයෙන් බැලීම මෙ බඳු දෑ ද ‘විසූක දස්සන’ ගණයට ඇතුළත් වේ.
මෙහි නච්චං යන්නෙන් යටත් පිරිසෙයින් මොනර නැටුමක් වුව ද ගැනේ. ‘ගීතං’ යන්නෙන් යටත් පිරිසෙයින් ධර්මය කියැවෙන ගීතයක් වුව ගැනේ. යටත් පිරිසෙයින් දියෙහි (බෙර) වැයුමක් වුව ‘වාදිතං’ යන්නෙන් සැලැකේ. මේවා අතුරෙන් යමක් දැකීමට යෑමෙන් පියවරින් පියවරට දුකුළා වන බව කඩ්ඛාවිතරණී විනය අටුවාවෙහි සඳහන් වේ. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගීතයක් හෝ යටත් පිරිසෙයින් දතින් කරන හඬනැගීමක් වුව ද දුකුළා ඇවැසි සිදු කරන්නක් බව සමන්තපාසාදිකා විනය අටුවාහි එයි. ගීතවත්ව දික් ස්වරයෙන්, දිගට ඇද පැද ධර්මය සජ්ඣායනා කිරීම නුසුදුසු ය.
ධර්මයෙහි දැක්වෙන ගාථා වෘත්ත, ජාතක වෘත්ත, සූත්‍රාන්ත වෘත්ත, නො සිඳ පරිපූර්ණ උච්චාරණ වෘත්තයෙන් පදව්‍යඤ්ජන සහිතව, සාරුප්‍ය ලෙස ධර්මය සජ්ඣායනා කිරීම යට කී ගීතස්වරයට ඇතුළත් නොවේ. මේවා භික්ෂු විනයෙහි සඳහන් කාරණා වුව ද ගිහි උපාසක - උපාසිකාවනටත් අදාළ වන කරුණු එහි ඇත්තේ ය.සිල්ගත් කෙනකුට අහඹු ලෙස ගීතාදියක් ඇසීමෙන් නැටුමක් ඇස ගැටීමෙන් ශීලයට හානියක් නොවේ. එහි චේතනා බද්ධ ප්‍රයත්නයක් නැති හෙයිනි.
පෝය දවස්වල විහාරස්ථානවල බෞද්ධ ගීත වුව ද මහ හඬ නංවා ප්‍රචාරය කිරීම කොතරම් උචිත වන්නේ ද? යන්න සලකා බැලිය යුතුය. විහාරස්ථානයක සෙසු පින්කම් අවස්ථාවලදී වුව ද ඝෝෂාකාරී ලෙස, ශබ්ද විකාශන මඟින් විවිධ ගීත ගායනා අසන්නට සලස්වනවාට වඩා, ලෝවැඩ සඟරා කවි වැනි දහම් අරුතු නංවන පද්‍ය විශේෂ හෝ ධර්ම දේශනයක් හෝ පිරිත් සජ්ඣායනයක් පැමිණෙන මහ ජනතාවට ඇස්වීමෙන් කොතරම් ධර්ම ප්‍රසාදයක්, දහමින් බැඳුණු පරිසරයක්, ප්‍රියංකරත්වයක් ඇති කරගත හැකි ද යන්න නුවණින් කල්නා කර බැලිය යුතුය.
මෙම ශික්ෂාපදයෙහි දැක්වෙන “මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසන” යන පදවලින් ගම්‍ය වන අදහස ඉහතින් සැකෙවින් දක්වන ලදි. මල් පැළැඳීම, මල්වලින් කෙහෙ, හෙල ආදී තැන් සැරැසීම, ස්වාභාවික වශයෙන් හෝ කෘත්‍රිම වශයෙන් හෝ නිපදවාගන්නා ලද, සුවඳ කල්ක, පුයර, සුවඳ විලෙවුන් වෙනත් එබඳු ආලේපන ගැල්වීම දැරීම නෛෂ්ක්‍රම්‍යයට බාධා වන හෙයින් සිත රාගාදී සිතිවිලිවලට නැමෙන හෙයින් පෙහෙවස් සමාදන් වන තැනැත්තා විසින් ඒවායින් වැළැකීමේ ශික්ෂාපදය සමාදන් ව හික්මෙයි. එසේ වුවද, ඒවා නියම කැරගත් බෙහෙත් වශයෙන් උදාහරණ ලෙස චර්ම රෝග සඳහා ආලේපනාදියත් වෙයි නම් ඒවා ආලේපනය, දැරීම නුසුදුසු නොවන්නේ නොවේ. එහිලා ඖෂධ සංඥාවක් විනා ආස්වාද (කාම) යක් විඳීම වරදෙකි. මණ්ඩන යන්නෙන් අදහස් කැරෙන්නේ ලස්සන කැරගැනුම පිණිස සමෙහි වළ තැන් සමත්වයට පත් කැරගැනීමට ගන්නා උපක්‍රම ය.හිසෙහි, කනෙහි, අතෙහි හා අනෙක් ශරීරාංගයන්හි රන් - රිදී අබරණ පැළඳීම හා නොයෙක් සැරැසිලි කිරීම නොකළ යුත්තේ ඉන් ඉහත සඳහන් සිකපදය බිඳෙන නිසා ය. සිල් පද තිබෙන්නේ සිතේ, ආභරණාදියෙහි නොවේ යැයි කියමින් ඇතැම් උවැසියන් කනකර අබරණ පැළැඳ සිල් සමාදන් වනු දක්නට ඇත. එයින් සමාදන් වන ශීලය නිසි අයුරින් නො පිහිටයි. සිත පිරිසුදු වීමක් ද නො වේ. සාම්ප්‍රදායිකව හෙළ බුදුහු උවැසියන් සිල් සමාදන් වන විට පැළැඳි අබරණ ඉවත් කැර විවිධ වර්ණ, විවිධ විලාසිතා ඇඳුම් පැළැඳුම් ඉවත් කර පිරිසුදු සුදු වස්ත්‍ර ඇඳුම් අඳින්නේ එය සමාදන් වන ශීලයට නැතහොත් සිල් රැකීමට උපකාරවත් වන නිසා ය. සුදු රෙද්ද පිරිසුදු බවේ සංකේතයකි. එය ඉතා චාම් ය. ඇල්ම, රාගය, උපදවන්නේ නැත. සුදු වත් හැඳීමෙන් ආගමික භාවයක් මෙන්ම පරිසරයට ප්‍රියංකර ආකර්ෂණයක් ද ඇති වෙයි. වෙසෙසින් ආරාධිත පරිසරය විසිතුරු වන්නේ සුදු වත් හැඳි සැදැහැවතුන් ගෙනි. විවිධ වර්ණ ඇඳුම් ඇඳගත් දනන් ගෙන් එබඳු විසිතුරක් ආරාම භූමියට එක් නොවෙයි. වත්මන්හි ද සාමාන්‍ය දිනවල පවා සැදැහැති උවැසියන් පන්සල් යන විට, අබරණ ගලවා තබා, සුදු වත් හැඳ යෑම සාමාන්‍ය චාරිත්‍රයක් ව පවතී.
බුද්ධ ශ්‍රාවකයා මෙ බඳු වූ පෙහෙවස් සමාදන් වන්නේ “එය රහතන් වහන්සේ අනුකරණය කිරීමක්” ලෙස සලකාය.
“රහත්හු දිවි හිමි කොට නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් යන මෙයින් ද මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම අඩුතැන් පිරවීම ඡවි රාග කරණ යන මෙයට කරුණු වන දැයින් ද වැළැකියාහු වෙති. මම් ද මේ රැයක් දවාලක් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්නෙන් හා මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම, අඩු තැන් පිරවීම, ඡවි රාග කරණය යන මෙයට කරුණු වන දැයින් ද වැළැකුණෙමි වෙමි. මම් මේ කරුණින් රහතන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වසන ලද්දේ ය.” (අංගුත්තර නිකාය - සංඛිත්ත අට්ඨංගුපෝසථ සූත්‍රය)
ආර්ය මාර්ගය වැඩීම සඳහා ද, කෙලෙස් බල සුන් කරනු පිණිස ද , චිත්ත දමනය හා සංවරය වැඩි දියුණු කිරීම පිණිස ද පාරිශුද්ධිය පිණිස ද ආර්ය විනයෙහි ශික්ෂාපද ශීලය කොතරම් අවශ්‍ය වන්නේ ද යන්න මෙම ශික්ෂාපද විග්‍රහය ඇසුරින් අපට මනාව අවබෝධ කැරගත හැකි ය.
උච්චාසයන මහාසයනා ශික්ෂා පදය
මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරුවන් මහා විහාරාධිපති,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක
ශාස්ත්‍රපති මකුලෑවේ විමල නා හිමි
අෂ්ටාංග සීල සමාදනයේ දී කියනු ලබන ශික්ෂාපද අතර අට වැන්න වශයෙන් සංග්‍රහ කොට ඇත්තේ උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි (උස් අසුනින් සහ මහ අසුනින් වැළකීම නම් වූ ශික්ෂාපදය මම සමාදන් වෙමි) යන්නයි. එම ශික්ෂාපදය දසසිල් පද අතර නව වෙනි ශික්ෂාපදය බවට පත් වේ. එයට හේතුව “නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං” යන හත්වන සික පදය “නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී යනුවෙන්ද, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණි” යනුවෙන් ද ශික්ෂාපද දෙකක් වශයෙන් සලකා සමාදන් කරවන බැවිනි.
දිනපතා පන්සිල් රකින පුද්ගලයා ලෝකයේ ඇති භයානක සැහැසි ක්‍රියාවන් නොකරන දැහැමියෙකු වේ. සත්ව ඝාතනයෙන්, හොරකමෙන්, පහත් හැසිරීමෙන්, බොරු කීමෙන්, මත් පැන් පානයෙන් තොර ජීවිතයක් ගෙවයි. ආගම දහම අනුව එසේ හික්මෙන පුද්ගලයා බුදු දහම අනුව පොහොය අටසිල් සමාදන් වීමෙන් පසු දිනකට එක වේලක් පමණක් ආහාර ගන්නා නැටුම්, ගැයුම්, වැයුම් ආදිය නො බලන මිටි අසුනක බද්ධ පර්යංකයෙන් සිටීමට පුහුණු වන, සිංහ, සෙය්‍යාවෙන් සැතපෙන සරල පැවතුම් ඇති අයෙක් බවට පත්වෙයි. දසසිල් සමාදානයට හුරුවීමෙන් සිදු වන්නේ ඔහු තවදුරටත් ඒ දැහැමි සරල දිවි මඟට හුරු වීමයි. දසසිල් රකින අවස්ථාවේ ඔහු ධන පරිහරණයෙන් පවා ඈත් වී ජීවත් වීමට පුහුණුව ලබයි. එසේ අටසිල් රැකීමෙන් ද, දස සිල් රැකීමෙන් ද, උච්චාසයන මහාසයන අතහැර සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය නොකරන කෙනෙකු අපට හමුවේ නම් ඒ තත්ත්වයට පත් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ දීර්ඝ කාලයක් පුහුණුවීමෙන් පසු හුරුකර ගත යුතු තත්ත්වයෙකි.උච්චාසයන මහාසයන වචන දෙක පිළිබඳ ව ධර්මානුකූලව දැනීමක් ලබාගෙන සිටීම ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයටම ප්‍රයෝජනවත්ය. පහත දැක්වෙන උපුටනයන් කියවන්න. “උච්චාසයනන්ති පමාණාතික්කන්තං වුච්චති මහාසයනන්ති අකප්පිය සයනං, අකප්පියත්ථරණඤ්ච තදුභයම්පි සාදියිතුං න කේනචි පරියායේන වට්ටති (පරමත්ථජෝතිකා)උච්චාසයන නම් පමණ ඉක්මවා කළ අසුනයි. මිටි රියනකට වඩා උස් වූ පා ඇති ඇඳ පුටු ආදියයි. මහාසයන නම් නොකැපවූ ඇතිරිල්ලයි. රන් රිදී ආදියෙන් මල්කම් කළ අගනා පලස් ආදිය බිම හෙලා ප්‍රයෝජන ගත්තත් මහසුන ම වේ.(සූත්‍රාර්ථශේඛරය)ආසනයක පාදවල ප්‍රමාණය විට්ටමේ යටි පැත්තේ සිට පොළොවට සුගත් අඟලෙන් අඟල් අටක් වෙයි. ඒ ප්‍රමාණයට වඩා උස් වුවහොත් එය උච්චාසන ගණයට වැටෙයි. මධ්‍යම පුරුෂයෙකුගේ අඟලෙන් අඟල් තුනක් සුගත් අඟල නමින් සැලකේ. ඒ අනුව සුගත් අඟල් අටකට අඟල් විසි හතරකි. අට්ඨ කතාවෙහි දැක්වෙන පරිදි සුඟත් අඟල් අට වඩුරියනට සමාන වේ. සාමාන්‍ය සම්මතය තුළ ඇත්තේ මිටි රියනකට වඩා උස පාද ඇති ආසන උච්චාසයන වශයෙන් සැලකිය යුතු බවය. මහාසයන සේ සැලකෙන්නේ අධික වටිනාකමක් ඇති ආසනයි. පුළුන් කොට්ට මෙට්ට ද උච්චාසයන සංඛ්‍යාවට ගැනේ. ඒවා ඉසට පයට පාවිච්චි කිරීම වරදක් නැත. එහෙත් පුළුන් මෙට්ට වශයෙන් යොදා තැනූ ඇඳ පුටු පාවිච්චිය තහනම් ය. ඒ සුඛෝපභෝගි ගණයට වැටෙන නිසාය.තෙරුවන් සරණ ගිය පන්සිල් රකින සැදැහැති ගිහි බෞද්ධයෙකුට උච්චාසයන මහාසයන පරිහරණය කිරීම ගැන බුදු දහමින් කිසිදු තහනමක් නැත. එහෙත් ඒ තැනැත්තාට අටසිල් සමාදන් වුවහොත් ඒ සිල් පවාරණය කරන තුරු ම ඔහුට උසසුන්, මහසුන් පරිහරණය කිරීමෙන් වැළකී සිටීමට සිදු වේ. ඒ සඳහා ඔහුට නීතියෙන් බල කරන ආරක්ෂකයන් නැතත්, තමා සමාදන් වූ ශික්ෂා පදය කැඩුණොත් හෝ කැඩුවොත් ඔහු ආත්මිය වශයෙන් පරාජිතයෙකු බවට පත් වේ. ඒ බව දන්නා අටසිල්, දසසිල් සමාදන් වන උපාසක, උපාසිකාවෝ නිහඬ ආගමික වතාවත්වල යෙදෙමින් බණ භාවනා කරමින් උසසුන් මහසුන් පරිහරණය නො කරමින් නිහඬ පරිසරයක රුක්මුල් ආවාස කුටි ආදියේ බිම පැදුරු එලාගෙන බද්ධ පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් දවස ගත කරති. එබඳු පිරිස් ලක්ෂ ගණනක් එක්තැන් ව වාසය කළත් එතැන ඇත්තේ නිහඬ බව පමණි. “රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා අනුගමනය කළ උච්චාසයන මහාසයන විරමණයෙන් අද දිවා රාත්‍රී දෙකේ කාලය ගෙවීමට තමා පොරොන්දු වූ බව පුනරාවර්ජනය කරන බැවිනි.
අටසිල් දසසිල් ආදී ඕනෑ ම සීලයක පිහිටා ජීවිතය ගත කිරීමට ගිහි බෞද්ධයෙකුට කිසිදු බාධාවක් නැත. එහෙත් දිනපතා පන්සිල් රැකීමට ඔහු පොරොන්දු වූවෙකි. බෞද්ධ සමාජය මඟින් ඈත අතීතයේ සිට ම පෝය දින වෙන්කරගෙන ඇත්තේ අටසිල් හෝ දසසිල් රකින දිනය වශයෙනි. එදින ඔහු විකාලභෝජනයෙන් වළකී. සුවඳ විලවුන් පාවිච්චියෙන් ද, වටිනා ආභරණ පැළඳීමෙන් ද නැටුම් ගැයුම් ආදියේ රස වින්දනයෙන් ද වළකී. සැප පහසු ඇඳ පුටු පරිහරණය නො කරයි. සුඛෝපභෝගී ඇඳ ඇතිරිලි පරිහරණය නො කරයි.එසේ උසසුන් මහසුන් පරිහරණය නො කර සිය නිවසේ හෝ පන්සලේ බෝ මළුවේ සෑ මළුවේ බුදු මැදුරේ නැතහොත් ගස් සෙවණක, නිහඬ තැනක බද්ධ පර්යංකයෙන් හෝ වෙනත් ඉරියව්වකින් කාලය ගෙවයි. තමා සතු මහා මන්දිර ඇඳ ඇතිරිලි ආදි කිසිවකින් දැන් ඔහුට ප්‍රයෝජනයක් නැත. ඒවා තාවකාලික ව අතහැරීමෙන් ලැබෙන සැනසිල්ල පමණක් ඉතිරි ව ඇත. අපේ පැරණි මහරජවරුන් පවා පොහොය දිනයන්හි පන්සලට පැමිණ, සිල් සමාදන් වී, සිල් ගත් රට වැසියන් සමඟ එකට බිම ඉඳගෙන, දිවා රෑ ගත කළ සාහිත්‍යය ග්‍රන්ථයන්හි දැක්වේ. ජන සන්ථව ජාතක කථාව මෙහිලා මනා නිදසුනකි. ජන සන්ථව රජතුමා තම රට වැසියන් සමඟ පෝය දිනවලදී සිල් සමාදන් වී පළමුකොට ම අනුශාසනාවක් කරයි. සිල් පවාරණය කළ පසු ද එම අනුශාසනාව ම නැවත කරයි. එයට ඇතුළත් වන්නේ මිනිසකු මහලු වූ කල කිසිවක් කර කියා ගත නො හැකි ව සිතින් දුක් විඳින කරුණු දහයකි. තමා තරුණ වියේ දී ධනයක් රැස් කර නො ගැනීම ආදී කරුණු දහයක් එම අනුශාසනාවේ ඇත. එම දේශනාවෙහි ප්‍රතිඵලය වූයේ ජන සන්ථව රජුගේ රාජ්‍යය අපරාධ කරුවන්ගෙන්, දූෂිතයන්ගෙන් වයස්ගත වී හිඟාකන්නන්ගෙන් තොර සෞභාග්‍යවත් රාජ්‍යයක් වූ බව ය.අටසිල් පද අතර අට වැනි ශික්ෂාපදය වශයෙන් සැලකෙන උච්චාසයන මහාසයන ශික්ෂාපදය ගිහි දස සීලයට ද, සාමණේර දස සීලයට ද අන්තිම වශයෙන් උපසම්පදා භික්ෂුවක් විසින් රැකිය යුතු 220ක් වන ශික්ෂාපද අතර දුක්කටාපත්තියකට ද අයත් වේ. පහත දැක්වෙන්නේ භික්ෂූන් වෙනුවෙන් පැනවූ එම විනය ශික්ෂාපදයයි. “මහණෙනි, උච්චාසයන මහාසයන නො දැරිය යුතුය. ඒ කවරේද? ආසන්දි (පමණට වඩා උස පා ඇති ආසනය) පල්ලංකෝ (පාදයන්හි රූප යෙදූ ආසනය) ගෝණකෝ (අඟල් හතරකට වඩා දිග ලොම් ඇති පලස) චිත්තකෝ (රත්නයන්ගෙන් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය) පටිකා (ලෝමයෙන් කළ සුදු ඇතිරිය), පටලිකා (ඝනව මල් යොදා කළ එළු ලොම් ඇතිරිය), තුලිකා (පුළුන් පිරවූ ගුදිරිය) විකතිකා (සිංහාදී සතුන්ගේ රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය), උද්ධලෝමි (එක් පසෙකින් ලොම් මතුවී ඇති ඇතිරිය), ඒකන්තලෝමි (උඩ යට දෙපසෙහි ම මතු වූ ලොම් ඇති ඇතිරිය) කට්ඨිස්ස (පටනූල් අතර රන් කෙඳි යොදා කළ ඇතිරිය) කෝසෙය්‍ය (රත්නයන් අල්වා ඇති පට ඇතිරිය), කුත්තක (නිළියන් දහසය දෙනෙකුට නැටිය හැකි ඇතිරිය), හත්ථත්ථර (ඇතා පිට හෙළන ඇතිරිය) අස්සත්ථර (අසු පිට හෙළන ඇතිරිය), රථත්ථර (රියවල අතුරන ඇතිරිය), අඡිනප්පවේණි (ඇඳේ පමණට දිවි සමින් මැසූ ඇතිරිය) කදලිමීග පවර පච්චත්ථරණ (කදලි මුවන්ගේ සමින් කළ ඇතිරිය), සඋත්තරච්ඡද (රතු වියන් ඇති අසුන), උභතෝ ලෝහිතකූපධානං (හිසට හා පයට රතු කොට්ට යොදා ඇති ඇඳ), යන මේවා යමෙක් දරා නම් දුක්කටාපත්ති වෙයි.උච්චාසයන මහාසයන ශික්ෂාපදයෙහි දැක්වෙන මේ උසසුන් මහසුන් නාමාවලිය දෙස බලන විට එදා ක්‍රි. පූ. හයවන සියවසේ ඉන්දියාවේ භාවිත කෙරුණු උච්චාසයන මහාසයනවලට වඩා අගනා උසසුන් මහසුන් වත්මන් යුගයේ භාවිතයේ තිබේද? නැද්ද? යන්න විමසිල්ලට භාජනය විය යුතුය. බුදුරජාණන් වහන්සේට ඉහත කී ශික්ෂාදය පැනවීමට හේතු වූයේ ඡබ්බග්ගිය භික්ෂූන් අධික සුඛෝපභෝගී ඇඳ ඇතිරිලි පාවිච්චියට පටන් ගැනීම ය. එම භික්ෂූන්ගේ ඒ චර්යාව මහාජනයාගේ අප්‍රසාදයටත් දැඩි විවේචනයටත් ලක් වීම නිසා චුල්ලවග්ග පාළියේ දැක්වෙන ඒ ශික්ෂාපදය පනවන ලදි. එම නිසා බුදුන් දවස ඉන්දියාවේ ජීවත් වූ කාමසුඛල්ලිකානුයෝගීන් විසින් පරිහරණය කළ භාණ්ඩ විස්සක් පමණ භික්ෂූන් වහන්සේලා පාවිච්චි නොකර අත් හැරියෝය. එයින් පසු ගිහි ගෙවල සම් අතුරන ලද ආසනවල හිඳ ගැනීම පවා උන්වහන්සේලා නො කළහ. ඒ බව දැනගත් බුදුරජාණන් වහන්සේ “මහණෙනි ගිහියන් සතු ආසනවල හිඳීමට නියම කරමි. නිදා ගැනීමට නොවේ.” යන අනු ශික්ෂාවක් පනවා ඇත. (වැඩි විස්තර සඳහා ඛන්ධක විනයේ චම්මක්ඛන්ධකය කියවන්න.) ච්චාසයන මහාසයන ශික්ෂාපදය ආවාසයක වැඩ සිටින භික්ෂූන් විසින් ඇඳ ඇතිරිලි පාවිච්චි කළ යුතු ආකාරය ගැන අනුදැන වදාළ ශික්ෂාපදයකි. එසේ ම එය භික්ෂූන් වැඩ වසන ආවාසයට, කුටියට සීමා වූවකි. භික්ෂුවක් තුළ තිබිය යුතු නිහතමානී බව, සුභර බව, සැහැල්ලු බව අල්පේච්ඡතාව ආදී උදාර ගුණාංගයන්ට පහර නො වැදෙන ආකාරයෙන් ආවාසයන්හි භාණ්ඩ පරිහරණය හා පරිභෝජනය කළ යුතු බවට මෙයින් මාර්ගෝපදේශයක් සැපයේ. එය පැවිදි පක්ෂයට මෙන් ම ගිහි බෞද්ධයන්ට ද, සාධාරණ මග පෙන්වීමක් බව අටසිල්, දස සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් යන සියලුම සීලයන් තුළ මෙම ශික්ෂාපදය ඇතුළත් වීමෙන් පෙනී යයි.