ඒ 1963 වසරයි. එවකට දකුණු වියට්නාමය පාලනය කළේ ජනාධිපති නගෝ ඩින්හ් ඩියෑම් (Ngo Dinh Diem). එරට තුළ බෞද්ධාගමික සංහාරයක් සිදු කරන බවට ඔහුට චෝදනා එල්ල වෙනවා.
විශේෂයෙන් ම එය බෞද්ධ - කතෝලික ආගමික අරගලයක් ලෙසයි අන්තර්ජාතික ප්‍රජාව අතර මතයක් හට ගන්නේ. ලෝකයේ ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස සැලකෙන සියමය (තායිලන්තය), බුරුමය (මියන්මාරය) කාම්භෝජය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් ඒ වෙනුවෙන් හඬ නැඟෙනවා. ඒ ගැන විමර්ශනයට කොමිසමක් පත් කෙරෙන්නේ ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන්. කොමිසමේ කොමසාරිස්වරයා වූයේ ලක්‍ෂමන් කදිරගාමර් නම් ශ්‍රී ලාංකිකයෙක්. ඔහු එහි දී කළ විමර්ශනයෙන් අනතුරු ව එළැඹී නිගමනයන් හා නිර්දේශ වියට්නාම පාලනයට ඉවත දමන්නට නොහැකි වුණේ ඒ නිර්දේශ එතරම් ම මානුෂීය බවකින් යුක්ත වූ නිසයි. ආගමක් ඇදහීමට ඉඩ ලබා දීම ජීවත් වන්නට ඉඩ ලබා දෙන්නක් බව ඔහු එදා පෙන්වා දුන්නා. මේ මඟින් පෙන්වන තවත් කරුණක් වන්නේ, සර්ව ආගමික නියෝජන හැකියාවක් ඔහු තුළ තිබූ බව අන්තර්ජාතික ප්‍රජාව ද දැන සිටි බවයි.
එයින් බොහෝ රටවල් තුළ ලක්ෂ්මන් කදිරගාමර් වන නමට විශාල පිළිගැනීමක් ද ඇති වුණා. එයින් වසර 36කට පසුව ඔහුගේ නම යළිත් අන්තර්ජාතික ප්‍රජාව අතර දැඩි ලෙස කතාබහට ලක් වුණා.
ඒ, ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා කටයුතු කළ සමයේ ඔහු විසින් ඉදිරිපත් කළ 554/115 දරණ යෝජනාවට අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1999 වසරේ දී වෙසක් පුන් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට ඒකමතික ව සම්මත කිරීම නිසයි. ඒ අනුව වර්තමානයේ වෙසක් පුන් පොහෝ දිනය, එක්සත් ජාතීන්ගේ සැමරුම් දිනයක් ලෙසට පිළිගන්නවා.
ලක්ෂ්මන් කදිරගාමර් බෞද්ධයකු නොවී, බෞද්ධයන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙනුවෙන් කළ ඉල්ලීම ගැන අන්තර්ජාතික ප්‍රජාවේ වැඩි පිළිගැනීමක් ඇතිවූයේ ඔහු විසින් බුදු දහම ආගමකටත් වඩා ජීවන ප්‍රතිපදාවක් බවට කළ හෙළිදරව්ව නිසයි.
‘බුදු දහම කියන්නේ ආගමක් නොව ජීවන ප්‍රතිපදාවක්‘ යනුවෙන් ඔහු වරක් අප පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසුවා. පංච ශීලය ආරක්ෂා කරනවා නම් අපිට ගෙවල්වල දොරවල් වහල තියන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ම කාන්තාවකට ඕනෑම වෙලාවක තනිව ම යන්න එන්න පුළුවන්. සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්න දෙකකට එයින් විසඳුම් ලැබෙනවා නේද? ඒකට ආගමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මම දකින්නේ බුදු දහම කියන්නේ ආගමකට වඩා අපට ජීවත් වෙන්න බුදු හාමුදුරුවන් කියා දුන්න මාර්ගයක්‘ ඔහු ඒ සාකච්ඡාව ලබා දුන්නේ අන්තර්ජාතික වෙසක් දිනය සම්බන්ධවයි.
කදිරගාමර් මහතා සේවය කළ කාර්යාල කාමරයේ බිත්ති හතරේ බුද්ධ ප්‍රතිමාවක්, හින්දු දේවරූපයක්, ක්‍රිස්තුන් වහන්සේගේ ඡායාරූපයක් හා මක්කම ශුද්ධ වූ දේවස්ථානයේ ඡායාරූපයක් ද එල්ලා තිබීම බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වන්නට පුළුවන්.
කිතුනුවකු ව උපත ලැබූ ඔහු බුදු දහමින් හා හින්දු දහමින් පෝෂණය වී සෑම ආගමක ම උගන්වන ඉවසීම හා මානව දයාව පදනම් වූ සර්ව ආගමික නියෝජනයේ සංකේතයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.
පාසල් අධ්‍යාපනයෙන් පසුව ලංකා සරසවියට ඇතුළු වී නීති උපාධිය ලබා ගන්නා ඔහු 1955 වසරේ දී අධි නීතීඥයකු ලෙස දිවුරුම් දෙනවා.
කදිරගාමර්ට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ඒ අතරයි. ඔහු 1959 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වූ දෙවන ශ්‍රී ලාංකිකයා වෙමින්. 1959 බැරිස්ටර්වරයකු ලෙස ලන්ඩනයේ සේවය කිරීමට ද ඔහුට අවස්ථාවක් ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි ඔහු යළිත් 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සමයේ නැවතත් ලන්ඩනය බලා යනවා. 1976 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශකයකු ලෙස තේරී පත් වන ඔහු 1983 වසරේ දී එම ආයතනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙනවා.
1988 වසරේ ඔහු යළිත් මෙරටට පැමිණෙන්නේ උපන් බිමට සේවය කිරීම සඳහායි. 1988/89 සමයේ උතුරේ හා දකුණේ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය ද, එවකට පැවති ආණ්ඩුවේ සාහසික මර්දනය ද ඔහු හෙළාදුටුවා. 1991 වසරේ දී ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙනවා.
ධනවත් පෙළැන්තියකින් පැවත එක ඔහු දේශපාලනයට පිවිසෙන්නේ උතුරේ යුද්ධය නිමා කිරීමේ අරමුණින්. 2001 වසර වන තුරු විදේශ ඇමතිවරයා ලෙස සේවය කළ ඔහු, කරන ලද ප්‍රධානතම කාර්යය වන්නේ එල්ටීටීඊ සංවිධානය අන්තර්ජාතික වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යි. ඒ අනුව අමෙරිකාව හා බ්‍රිතාන්‍ය විසින් එල්ටීටීඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් බවට පත් කරන්නේ 1997 හා 2001 යන වසරවල දී. මීට අමතර ව බොහෝ යුරෝපියානු රටවල එල්ටීටීඊ සංවිධානය තහනම් වන්නේත් ලක්ෂ්මන් කදිරගාමර්ගේ කරුණු දැක්වීම් මත යි.
සටන් විරාම කඩ කරන එල්ටීටීඊ සංවිධානය හා ඊට මැදිහත් වෙන නෝර්වේ රාජ්‍ය ද ලක්ෂ්මන් කදිරගාමර්ගේ දැඩි විවේචනයට පාත්‍ර වෙනවා. 2004 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ලක්ෂ්මන් කදිරගාමර් අග්‍රාමාත්‍ය ධූරයට නිර්දේශ වෙනවා.
ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා කොළඹ පදිංචි ව සිටියදී නිතරම කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයට ගියා. කිසිවිටෙක ඔහු අත් දෙක වනමින් ගියේ නැහැ. එහි විහාරාධිපති ව වැඩ විසූ දරණාගම කුසලධම්ම හිමියන් හමුවී විවිධ බොහෝ දේ ගැන ඔහු කතා කළා. කදිරගාමර් මහතා සිය නිවසේ දී පවා බෞද්ධාගමික කටයුතුවල නිරත වුණා. ඒ බව දන්නේ කිහිප දෙනයි. ඔහු එය කිසිවිටක ප්‍රසිද්ධියට කළේ නැහැ. බොහෝ විට සම්බෝධි විහාරයේ භික්ෂූන් වහන්සේ ඔහුගේ නිවසේ ආගමික කටයුතුවලට වැඩම කළා. භික්ෂූන් වහන්සේට නිසි ලෙසින් වන්දනා කරන්නට ඔහු කිසිවිටක අමතක කෙළේ නැහැ.
බුද්ධ රූපයට අවමන් වන ආකාරයේ සිදුවීම් රටතුළ සිදු වන විට ඊට විරුද්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ශ්ව කරුවෙක් වෙමින් නඩු පවරන්නත් ලක්‍ෂමන් කදිර්ගාමර් කටයුතු කළා.
කිතුනු බැතිමතකු වුවත් ඔහු බුදුදහම පිළිබඳ විසාරදයෙක් කිව්වොත් එය වැරැදි නැහැ. ධම්ම පදය ගැන ඔහුට හොඳ දැනුමක් තිබුණා. ඒ වගේ ම භගවත් ගීතාව ගැනත්, බයිබලය ගැනත්, ශුද්ධ වූ කුරාණය ගැනත්, ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා තුළ තිබූ දැනුම ඉහළයි.
ජනවාර්ගික අර්බුදයට යුද්ධය වෙනුවට සාමය ඇරඹීම සහ සංවර්ධනය සඳහා මෙරටට හිතකර ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමට ඔහු අතිවිශාල මෙහෙයක් කළා.
සාම ක්‍රියාදාමය ඔස්සේ ඔහු කතාබහට ලක් කළ විශේෂ කරුණ වන්නේ ප්‍රජාතාන්ත්‍රවාදී මානව අයිතීන් පිළිබඳව යි. ඔහු ඍජුව ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ සුළු ජාතීන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වන බවයි. ලක්‍ෂමන් කදිරගාමර්ගේ විශ්වාසය වූයේ ප්‍රශ්න පිළිබඳ කතා කිරීමේ දී එය සිංහල හෝ දෙමළ ප්‍රශ්න ලෙස නොව ඒවා ලාංකීය ජනතා ප්‍රශ්න බවයි. උතුරු නැඟෙනහිර පළාත්, ඒ ප්‍රදේශවල සිටින ජනතාවගේ බවට වූ ප්‍රකාශය ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා ප්‍රතික්‍ෂෙප කළා. ඒ ගැන ඔහුගේ අදහස වූයේ සියලු ජනතාවගේ අයිතීන් නිදහස හා ආරක්‍ෂාව රටේ සියලු තැනක දී ම රජය විසින් ආරක්‍ෂා කර දිය යුතු බවයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව හා දෙමළ කොටි සංවිධානය අතර එදිරිවාදිකම් අත්හිටු වීම පිණිස එකඟතා ගිවිසුම් සකස් කිරීමේ දී රටේ ස්වෛරී භාවයට අහිතකර විය හැකි එහි බොහෝ වගන්ති පිළිබඳ පැහැදිලි කරන ලද්දේ ද ලක්‍ෂමන් කදිර්ගාමර් විසින්.
රට බෙදීමට විරුද්ධ ව කතා කළ කදිරගාමර් මහතා නිරතුරුව ම ඒකීය ශ්‍රී ලංකාවක් යන මතය අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ගෙන යාමට කටයුතු කළා. එයින් උරණ වූ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් 2005 වසරේ අගෝස්තු 12 වැනි දින ඔහුගේ නිවසේ නාන තටාකයේ සිටි ඔහු ඝාතනය කෙළේ ස්නයිපර් වෙඩි ප්‍රහාරවලින්.
සාමයට දෑත දිගු කළ, විශේෂයෙන් බෞද්ධකම එසවීමට කටයුතු කළ අසහාය යුග පුරුෂයකු අපට එලෙසින් අහිමි වුණා.