මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ පරිවෙණාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි
මව්පියෝ පෙරදිග ලෙස හඳුන්වා වදාළේ.දරුවනට සකලාර්ථ සිද්ධියම එතුමන්ගෙන් ලැබෙන බැවින්ය. පෙරදිග සංඛ්‍යාත මව්පියන්ට පස් ආකාරයකින් දූ දරුවන් විසින් සංග්‍රහ කළ යුතුය.
“යෝ මාතරං වා පිතරං වා
මච්චෝ ධම්මේන පොසති
ඉධේචනං පසංසන්ති
පෙච්චසග්ගේ පමෝදති”
යමෙක් මව හෝ පියා හෝ ධර්මයෙන් පෝෂණය කෙරේද? ඔහුට මේ ලෝකවාසීන් පසසයි. හෙතෙම මරණින් මතු දෙවි ලොව ඉපිද ප්‍රමුදිත වෙයි. සතුටු වෙයි යනු ගාථාවෙන් ප්‍රකාශවන අදහසයි.
දිළිඳු මව්පියන් භක්තියෙන් රැකබලාගත් පුතෙකු මඛාදේව නම් යක්ෂයාට බිලි පිණිස ගියේ ජීවිත ලාභයටත්, රාජ ගෞරවයටත් රටවාසීන්ගේ දයානුකම්පාවටත් පාත්‍ර විය. සාම කුමාරයා මව්පිය උපස්ථාන බලයෙන් ශරීරගත විෂ අමෘත බවට පමුණුවාගෙන අඳ මව්පියන්ට නෙත් ලබාදීමා දියෙන් විශ්මයජනක දෑ ඒ ආත්මයේදෘම කළේය. සද්පුරුෂයන්ගේ ආශිර්වාදය මව්පිය උපස්ථානය කරන දරුවන්ට ලැබේ.අමනුෂ්‍ය පීඩා, සොරසතුරු පීඩා ඇති නොවේ. ස්වකීය දූ දරුවෝ තමන්ට නියම උපස්ථානය නොපිරිහෙලා ඉටුකරති. දේවාභිවාදනයත්, සියලු සැපත් මව්පිය උපස්ථානයෙන් ලබා ගැනීමට පුළුවන් වේ.
මව්පියන්ට නියම ගරු සම්මාන නොදක්වන දරුවන් වසලයන් බව වසල සූත්‍රයේ සඳහන් කරන ලදී.
“යො මාතරං වා පිතරංවා
ඡින්නකං ගත යොබ්බනං
පහුසන්තෝ න භරති
තං පරාභවතෝ මුඛං”
උභය ලෝක පරිහානියට හේතුවන කරුණු දේශනා කළ පරාභව සූත්‍රයේදී මව්පිය උපස්ථානය නොකරන අය දෙව්ලොවින් පිරිහෙන බව දක්වා වදාළ සේක. පෙර දඹදිව මව්පියන්ට පුද පූජා නොපවත්වන දරුවන්ට මරණීය දඬුවම සම්මතව තිබුණ බවට නිදසුන් ඇත. මෙලොව අපකීර්තියටත් පරලොව සතර අපාදුකටත් හේතුවන බලවත් වරදක් බැවින් මව්පියන්ට අපහාස නොකිරීමට දූ දරුවෝ දැන සිටිය යුතුය.
මව්පියෝ පෙරදිග ලෙස හඳුන්වා වදාළේ.දරුවනට සකලාර්ථ සිද්ධියම එතුමන්ගෙන් ලැබෙන බැවින්ය. පෙරදිග සංඛ්‍යාත මව්පියන්ට පස් ආකාරයකින් දූ දරුවන් විසින් සංග්‍රහ කළ යුතුය.
1.භතෝ නෙසං භරිස්සාමි
2.කිච්චං නෙසං කරිස්සාමි
4.දායජ්ජං පටිපජ්ජාමි
5.පේතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි
මේ කාලය මව්පියන්ට සැලකීම අතින් සමාජය ඉතා දුර්වල මට්ටමක පවතින බව අතිශය කනගාටුවෙන් කියනු කැමැත්තෙමු. මව්පියවරුන්ට වැඳීම වෙනුවට තාඩන පීඩනාදිය කිරීමටත් නිග්‍රහ කිරීමටත් ඇතැමෙක් පුරුදුව සිටිති. ඇතැම් දරුවන් දෙමාපියන් ස්වකීය වැඩපළ කරවා ගැනීමටත්, දාසයන් ලෙස යොදාගන්නා අවස්ථාද ඇත. මව්පියන්ට වැඳීමෙන්, පිදීමෙන් පින්සිදුවන්නාක් මෙන්ම හිංසා පීඩාදිය කිරීම බලවත් පාපකර්මයකි.
මව්පියන්ගේ ජීවිත විනාශ කිරීම අනතුරු ආත්මභාවයන්හිදී අවීචි මහා නරකයෙහි උපදවා දුක්විඳුවන මහා සාවද්‍ය ආනන්තරිය අකුසලයකි. අදූරදර්ශී අඥානයන් හුදු ලාභාපේක්ෂාවෙන් හෝ ක්ෂණික කෝපයෙන් හෝ මව්පියවරුන්ට තැලීම පෙළීම ඔවුන්ගේ දිවිතොර කිරීම සිදු කෙරේ. එය බලවත් අකුසල කර්මයක් බව සලකා මව්පියන්ට නිති ගරු බුහුමන් දැක්විය යුතුය.
දෙමාපියන්ද දරුවන් ක්‍රමානුකූලව අපරාධකාරයන් නොවන ලෙස හැදීමට නම් දරුවන් තැනීමට පළමුව ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. පාප ක්‍රියාවන්ගෙන් වළකා සද්පුරුෂ ආශ්‍රයට මං සැලසීම ළමා කාලයේ පටන් මව්පියන් වැඩිහිටියන් සතු කාර්ය බව සළකත්වා, අයහපත් ආශ්‍රයට ඉඩ ලැබුණොත් එයින් සිදුවන විනාශකාරි තත්ත්වය පහදා ගැනීමට අජාසත්ත රජුගේ කථාව කදිම නිදසුනකි. පාප මිත්‍ර සේවනයෙන් යහපත අයහපත විසඳාගත නුහුනු අජාසත් පීතෘඝාතක අකුසල කර්මයෙන් අපාගත වී මේ තාක් දුක්විඳින්නේය.
දරුවන්ට, මව්පියන්ගේ මහඟු බව වැටහීමට කල් ගතවේ. මව්පිය තනතුරට පත්වන තෙක් මව්පිය අගය නොවැටහෙන්නේය. දෙගුරුන්ගේ අගය අවබෝධවන කාලය වන විට ඇතමුන්ගේ මව්පියවරු ජීවතුන් අතර නොමැත. පසුව පසුතැවිලිවීමට හේතුවන බැවින් කුඩා කාලයේ පටන්ම මව්පිය උපස්ථානය පුරුදු කිරීමට සියලු දෙනා උත්සාහවත් විය යුතුය.
පින්වත් දරුවන් සිය දෙමාපියන්ට උපස්ථානය කළ ආකාරය දැක්වීමට එක්තරා නිදසුන් කථාවක් දක්වමි. පෙර ලක්දිව විසූ පින්වත් රජදරුවෝ මව්පියන්ට කෙසේ උවටැන් කළාහුදැයි අගබෝ රජුගේ කථාවෙන් තේරුම් ගැනීමට අවකාශය ලැබේ. දවසකට දෙවරක් මෑණියන්ට වැඳීම මේ රජතුමාගේ දිනචරියාවේ එක් කොටසක් විය. සියතින්ම ආහාරපාන කවා පොවා ඉතිරි කොටස අග්‍ර භෝජනය ලෙස අනුභව කළේය. සියතින් නාවා හදින පළඳින ඇඳුම් සියතින්ම සෝදා පිරිසුදු කළේ ය. රාත්‍රි නින්දට පළමුව මෑණියන්ට තෙවරක් ප්‍රදක්ෂිණා කොට වහාම මැණියන්ගේ සැපදුක් විචාරයි. දහසක් වැඩ ඇති මොහොතක් විවේක නැති ඔටුණු පලන් රජදරුවෝ මෙසේ මව්පිය ගුණ සැළකූහ.
අනවකාශය කියා හෝ වෙන උපස්ථායකයෝ සිටිය කියා හෝ අගනා පුණ්‍ය කර්මයක් පැහැර හැරියහොත් මහාර්ඝ සම්පත් අත්හරින නිවටුන් සේ දුක්වන්නාහ. පුණ්‍යාර්තීන්ට පින් කර ගැනීමට මේ ලෝකයෙහි පුණ්‍යක්ෂේත්‍ර සතරක් ඇත්තේය. බුදුවරයෝය. බුද්ධශ්‍රාවකයෝය. මෑණියෝය. පියාණෝ ය. යනු ඒ සතරය.බුදුවරයන් පහළ වීමෙන් බුද්ධශ්‍රාවකයන්ද ඇතිවේ.
එබඳු කාලයක් ලෝකයෙහි ඇති වනුයේ කාලාන්තරයකින්ය. දෙමාපියෝ එසේ නොව පහසුවෙන් ලබාගත හැකි වුවද, සසර වසනතාක් කල් මහෝපකාරි වන්නාවු උතුමෝය. මව්පියන්ට නොසලකන දරුවන්ට සමාජයෙන් නොයෙක් දඬුවම් පැවරූ කාලයක්ද විය. බුද්ධ කාලයේ පුතුන් සිව් දෙනෙකුගේ පියෙකු නිසා දරුවන්ට දඬුවම් ලැබෙන තැනට මං සැළසුණේය.මේ දරුවන්ගේ මව් මියගියාට පසුව දරුවන් මැනවින් සිය පියාට උපස්ථාන කොට පියා සතු හාරලක්ෂයක් පමණ ධනය ඔවුන් බෙදා ගත්හ. වස්තුව බෙදාගැනීමෙන් පසුව අපට වැඩියෙන් වස්තුව නුදුන්නේය. සැමදාම උපස්ථාන කළ නොහැක. මේ ආදි කියා සිව් දෙනා විසින්ම පියාට සංග්‍රහ නොකරන ලදී. අසරණ වූ පියා ගෙයක් පාසා සිඟාකමින් ජීවත් විය. දිනක් මේ මහලු පියා බුදුන් වෙත ගොස් විපත කියා පිහිටක් අයැද සිටියේය. බුදුරදුන් බ්‍රාහ්මණයාට ගාථා පසක් උගන්වා මහජනයා සිටින තැනකට ගොස් කියන්නැයි අවවාද දුන්හ. තථාගත නියමය පරිදි ක්‍රියාකළ බමුණාට මැනවින් දරුවන්ගෙන් උපස්ථාන ලැබෙන්නට විය. පසුව පියපුතු සියලු දෙනාම බුද්ධශ්‍රාවකයන් වී ධර්මාවබෝධය කළාහුය.
මව්පිය ගුණ
මව්පියන් පාපයෙන් වළක්වා පිනෙහි යෙදවීමට යම් දරුවෙක් සමත් වන්නේ නම් හෙතෙම පිනැති දරුවෙක් වන්නේය. මෙසේ සැලකීම් ලබන මව්පියන් ස්වභාවයෙන්ම සිය දරුවන් උදෙසා කරුණාවෙන් ආශිර්වාද කරයි. මව්පියන්ගේ කරුණාව ලැබීම දරුවනට උතුම් වූ අවස්ථාවකි.
දෙමාපියන් උදෙසා දරුවන් කරනු ලබන සංග්‍රහාදිය පිළිබඳව ද බුදුරදුන් කරුණු පෙන්වා දී ඇත. වැඩිවියට පැමිණි දරුවන් සිය රක්ෂාවලින් ලබන ධනය දෙමාපියන් විෂයෙහි කැප කොට ඇප උප සත්කාර සම්මානනයන් සිදුකිරීමට පිළිවන. දරු වූ සැම දෙනාම දෙමාපියන්ගෙන් ලද උපකාර ගැන ඔවුනට ණයකාරයෝය. ඒ ණයින් නිදහස් වීමට ගිහියන් විසින් තබා පැවිද්දන් ගිහි කටයුතු හැර ධන සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොටසක් බැවින් මාපියනට ජීවත් වීමට අපහසුවක් නොමැතිනම්, උපස්ථාන නොකලාට ද වරදක් නැත. ආහාර නොලබත් නම්, පිඬුසිඟා වැඩ හෝ ඔවුනට උපස්ථාන කළ යුතුය. මා පියනට කොතෙක් ධනය ඇතත් දෙමාපියන් ස්වකීය පැවිදි පුත්‍රයාගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් ඒ අය වෙනුවෙන් ඇප උප සත්කාර කළ යුතුය. එසේ බලාපොරොත්තු වුවත් නැතත් ගිහි දරුවන් සිය දෙමාපියනට සැලකිය යුතුය.
දෙමාපිය ගුණ
“ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන භික්ඛවේ අංසේන මාතරං පරිහරෙය්‍ය...” මහණෙනි, යම් දෙදෙනෙකුට ප්‍රත්‍යුපකාර කිරීම පහසු යැයි නොවදාරමි. කවර දෙදෙනෙකුට ද යත්? මව හා පියාය. යන දෙදෙනාය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් සිය උර හිසකින් මවද අනෙක් උර හිසින් සිය පියාද උසුලා සිටින්නේද හෙතෙමේ ම ඔවුනටද සුවඳ ගැල්වීමෙන්ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන්ද උපස්ථාන කරන්නේද ඔවුහු එහි ම මළ මුත්‍රා කරන්නාහුද මහණෙනි, එතෙකින්ද මව්පියනට උපකාර කළේ හෝ නොවන්නේය...මහණෙනි මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝය. දරුවන්ගේ දිවි පවත්වන්නෝය. දරුවන් පෝෂණය කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය”.
මේ ආකාරයට ම දෙමාපියන්ගේ ගුණ දැක්වෙන අවස්ථාවක් එම සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වේ. “යම් දරුවෙක් අශ්‍රද්ධාවත් සිය දොමපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවා ද සමාදන් කරවා ද ඇතුළත් කරවාද පිහිටවා ද දුස්සීල වූ මාපියන් ශීල සම්පත්තියෙහි මසුරු වූ මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි ප්‍රඥා විරහිත දෙමාපියන් ප්‍රඥා සම්පත්තිය කෙරෙහි සමාදන් කරවා ද ඇතුළත් කරවාද පිහිටුවා ද එතෙකින් මාපියනට ප්‍රත්‍යුපකාර කළේද අධික කොට උපකාර කෙළෙද වේය.” යනුවෙන් මාතෘ පිතෘ ගුණ සූත්‍රයේ දැක්වේ.
ශ ්‍රද්ධාව හෙවත් පැහැදීම් නැති සිය දෙමාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවා සුමගට යොමු කරවා ගැනීම, දුස්සීල දෙමාපියන් සුසිල්වත් කිරීම, මසුරු බවින් මුදා දීම සඳහා සිත් යොමු කිරීම්ද මාපියන් කළ උපකාරයට සෑහෙන උපකාරයක් වන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දී ඇත. එසේ හෙයින් මාපිය උපස්ථානය සිදුකරන දරුවන් ආහාර පානාදියෙන් පමණක් නොව තම මාපියන් ගුණ ධර්මයන්හි යෙදවීම ද ඔවුනට සෑහෙන උපකාරයක් වන්නේමය.
පාපයෙන් වළක්වා පිනෙහි යෙදවීමට යම් දරුවෙක් සමත් වන්නේ නම් හෙතෙම පිනැති දරුවෙක් වන්නේය. මෙසේ සැලකීම් ලබන මව්පියන් ස්වභාවයෙන්ම සිය දරුවන් උදෙසා කරුණාවෙන් ආශිර්වාද කරයි. මව්පියන්ගේ කරුණාව ලැබීම දරුවනට උතුම් වූ අවස්ථාවකි. එබැවින් මහානාම ශාක්‍ය තුමාට බුදුරදුන් දේශනා කරන්නේ, “මාතාපිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියේච පාටිකංඛිතබ්බා නො පරිහානි” වදාළ සේක. ඊට අනුව මාපියන් විසින් අනුකම්පා කරන ලද දරුවාට දියුණුවක් වන්නේ මය. පරිහානියක් නොවන්නේ ම ය. මව්පියනට උපකාර කරන දරුවන්ට දෙවියෝද ආශිර්වාද දක්වති. ඔවුන් සත්පුරුෂයන් වශයෙන් හඳුන්වති. “මාතා පෙත්ති භරං ජන්තු – කුලේ ජෙට්ඨා පචායිනං” යන්නෙන් ඒ බව දැක්වේ. යම් කිසි මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමෙන් පෝෂණය කෙරේද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසති. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටු වේය.
මාපියනට නොසැලකීමේ ආදීනව
මාපියන්ට සැළකීම සේම නොසැලකීමද අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. ඒ නිසාම බොහෝ විට වැඩිහිටි නිවාසවල අසරණව දුක්විඳින මව්පියන් දක්නට ලැබේ. දරුවන් තැනීමට දෙමාපියන් විඳි දුක් අපමණය. යම් දරුවෙක් තරුණ බව ඉක්ම වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිටම පෝෂණය නොකෙරේ නම්, එය පිරිහීමට හේතුවක් බව බුදුරදුන් පරාභව සූත්‍රයේදී දක්වා ඇත.
“යෝ මාතරං වා පිතරංවා
ජින්නකං ගත යොබ්බනං
පහූසන්තෝ න භරති
තං පරාභවතෝ මුඛං” යනුවෙන් දේශිතය
මව්පියන්ට නොසැලකීම ඉතා බරපතළ වරදක් බවත් ඒ සඳහා වෙන ම නීතියක් පවා පනවා තිබේ. “තම මහලු මව්පියන් දුක් විඳින්නට හැර මාපියනට නොසලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බව ද දක්වා තිබේ. යම් විටෙක සිය දෙමාපියනට හිත් රිදෙන සේ කතා කිරීම සැරපුරුෂ වීම බලවත් පාපයකි. වචනයකින් හෝ ඔවුන්ගේ සිත් නොරිදවිය යුතුය. තමන් අතින් යම් වරදක් වූයේ නම් සමාව අයැදීමට පෙර ඔවුන් කළුරිය කළ හොත් මළ සිරුරට හෝ වැඳ සමාව ඉල්ලා සිටිය යුතු ය. දෙලොව වැඩ කැමැති සෑම දෙනාම තම තමන්ගේ මාපියනට හැකි පමණින් උපස්ථාන කිරීමෙන්ද කීකරුව හැසිරීමෙන්ද ඔවුන්ගේ සිත් සතුටු කිරිමට වගබලා ගත යුතුය.
යමෙක් ඉහත සඳහන් කළ කරුණු මනාව තේරුම් ගෙන සිය දෙමාපියන් නිසි ලෙස ආරක්ෂා කරවා ගනිමින් සුවර්ග මෝක්ෂ සාධනය ලබාගනිත්, දෙමාපියන් ගෙන් යුතුකම් ලබාගත් දරුවන් පෙරලා සිය දෙමාපියන්ට මහලු වියට පත් කල පෝෂණය කරති. කළ යුතු වැඩ කරදෙති. පවුල ශක්තිමත් කරති. වංශය රැකගනිති. මිය පරලොව ගිය පසු පින් දහම් කර පින් අනුමෝදන් කරවති.