බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද?

කැලණිය විශ්වවිද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 

ඉදුරාගාරේ ධම්මරතන හිමි

අධ්‍යාපනය කියන විෂයය ජීවිතයේ දරුවන්ට පමණක් අදාළ විෂයක් නොවේ. ඉගෙනීම සෑම වයසටම හැම තරාතිරමකම, හැම රටකටම හැමදාම වුවමනා වන දෙයක්. අද අප කල්පනාකරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයක් යටතේ පරිපාලනය වන නිසා අපට සිතෙන්නේ පන්තියක ගුරුවරයා ඉදිරිපිට දරුවන් පෙළගැසී සිටින දරුවන්ට යම් යම් විෂයයන් පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක් ලෙසට අධ්‍යාපනය දළ වශයෙන් පවතින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අධ්‍යාපනය ලබපු ක්‍රමය සහ උන්වහන්සේ අධ්‍යාපනය දුන් ක්‍රමය යන කාරණා දෙකම ඉතාම වැදගත්. උන්වහන්සේ විෂය දැනුම ගුරුවරුන්ගෙන්ද, සමාජයෙන්ද, ගහකොළ පරිසරයෙන්ද අධ්‍යාපනය ලැබුවා. උන්වහන්සේ අධ්‍යාපනය ලබා දෙනු ලැබුවේ අප අදටත් විධිමත් යැයි සළකන අධ්‍යාපන ක්‍රමයට නොවේ. එනිසා අධ්‍යාපනයේ ක්‍රමවේදය පිළිබඳව අපට නැවත සිතා බැලිය යුතුයි. ඊඥචජඩඪදඨ යන ඉංගී‍්‍රසි වචනයට සිංහලයෙන් උගන්වනවා සහ ශික්ෂණය කරනවා යන්න තේරුම් දෙකක් තියෙනවා. උගන්වනවා යන කාරණාවත් ශික්ෂණය කරණවා යන්නත් වෙන වෙනම සාකච්ඡා කළ යුතු කාරණා දෙකක්. ඉගැන්වීම කරනු ලබන්නේ පාසලේ ගොඩනැගිල්ලක නියමිත ස්ථානයක් තුළයි. ශික්ෂණය කිරීම නිවසක කළ යුතු දෙයක්. උගන්වනවා කියන කාරණාව ගුරුවරුන් කරන අතර ශික්ෂණය දෙගුරුන් විසින් කළ යුතු වෙනවා. ඉගැන්වීම දවසේ පැය විසිහතරෙන් හයක් පාසල් භූමියකදී කරනු ලබයි. දවසේ පැය විසිහතරෙන් පැය දහ අටක්ම දෙගුරුන් විසින් දරුවන් ශික්ෂණය කරනු ලබයි. වැඩෙමින් සිටින දරුවා පාසලේ රැඳෙන්නේ එක ගුරුවරයකු යටතේ ළමයි හතළිහක් පමණ ප්‍රමාණයක් තුළ , මවක් හෝ පියෙකු දරුවන් දෙතුන් දෙනෙකු නිවස තුළදී ශික්ෂණය කරනු ලබයි. ගුරුවරුන් ගුරු කාර්යභාරයේ කරනු ලබන්නේ මවුපියන් නොදන්නා විෂයයන් ශිෂ්‍යයන්ට කාවැද්දවීමයි. ව්‍යාකරණ, ඉංගී‍්‍රසි,විද්‍යාව, සමාජඅධ්‍යයනය, ගණිතය, කෘෂිකර්මය වැනි විෂය කරුණු මවුපියන් නොදන්නවා විය හැකියි. එම විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් සිටී. ඊට අමතරව දරුවා දත යුතුයි. කනහැටි,බොනහැටි, පාන්දර නැගිටින ආකාරය කොණ්ඩය පීරන ආකාරය මහ මඟ යන ආකාරය මුහුණසෝදන ආකාරය, පිරිසුදුව ශරීරයක් පවත්වාගෙන යන ආකාරය පිරිසුදුව ඇඳුම් තබාගන්නා ආකාරය, පාවහන් කැසිකිළි වැසිකිළි පාවිච්චි කරන ආකාරය, විද්‍යුත් හා විදුලි උපකරණ ආරක්ෂිතව පරිහරණය කරන ආකාරය, අම්මා සහ තාත්තා යන්න කවුද? යන වඟ , මවුපියන්ට අමතරව ඥාතීන් සිටිනා බව, අසල්වාසින් ගෙදර වැටමායිම් ගහකොළ සතාසිවුපාවා ඇලදොළ ,ගංගා, සුළඟ,පැදුර , කොට්ටය, ඇඳ,මේස, ඇතිරිලි, සියල්ල සමඟ බැඳී පවතිනුයේ පාඩම් වුවත්, ගුරුවරුන් උගන්වනු ලබන විෂය බද්ධ විෂය නිර්දේශ ගත පාඩම් නොවේ. එය ශික්ෂණය කිරීම දෙගුරුන්ට අයත් කාර්යයභාරයක්. මේ වන විට රට මුහුණ දී තිබෙන අර්බුදය ඉහත කී ගුරුවරුන් විසින් පැය හයක උගන්වන දත්ත ඥානය නොලැබීම නොවේ. ළමයි විෂය දැනුම ඉතාමත්ම හොදින් දන්නවා. දරුවන්ට දෙමාපියන් පිළිබඳව ගෞරවය,ලෙන්ගතුකම , ස්නේහය, හෝ ලැබීමට මවුපියන් විසින් කළ යුතු කොටසක් තිබෙනවා. මවුපියන් විසින් ශික්ෂණය කළ යුතු කොටස මවුපියන් ඉෂ්ට කරන්නෙ නැහැ. එය බරපතළම කාරණයක්. ළමයි සාමාන්‍ය ආචාර ධර්ම දන්නේ නැහැ. පාසලකට, පන්සලකට, ගොඩවන ආකාරය, පාවහන් ගැලවිය යුතු ස්ථාන පිළිබඳව පාවහන් අනිවාර්යයෙන්ම පැළඳිය යුතු කැසිකිළි වැසිකිළි ආදි ස්ථාන පිළිබඳව නිවැරුදි අවබෝධයක් නැහැ. එය ශික්ෂණය නොමැතිකම මිස අධ්‍යාපනය නොමැතිකම නොවේ.
ශික්ෂණය,යන්න හීලෑ කරන අර්ථය නොවේ. “ශික්ෂණය” යන්න “සීලාචාර” පිළිබඳව අර්ථයක් ගැබ්ව ඇත. සීලාචාර යන්න උස් හඩින් කතා නොකරන,බිම බලාගෙන ඇවිදගෙන යන,උස් හඩක් නැති ගී සිංදු නොකියන බෙලහීන නරුම චරිතයකට නොවේ. එය කිසියම් රෝගී තත්ත්වයක් වේ. කිසියම් කාර්ය ශූර කඩිසර, උදාසීන නැති අනලස් චරිතය ත් තමයි සීලාචාරකම කියන්නේ. හීලෑ කිරීම යන්න වෙනස්ම අර්ථයක්. හීලෑ කරනු ලබන්නේ කෙවිටක් පාවිච්චියෙන් මී හරක් පිරිසක්. දරුවෙක් හීලෑ කළ නොහැකියි. සමහර අවස්ථාවල දී දෙමව්පියන් කොතරම් නම් මුග්ධද,කොතරම් නම් අදුරදර්ශි හා ප්‍රඥාගෝචර නොවන ආකාරයට හැසිරෙනවාද කියනවා නම්, සත්තු හීලෑ කරන තරමටම දරුවන් හීලෑ කරන්න දරන අවස්ථා තියෙනවා. තවත් පැත්තකින් සතෙකු තරම්වත් දරුවන්ට නොසළකා හරිනු ලබන අවස්ථා තිබෙනවා. ළමයින්ට උගන්වන්න දරණ වෑයම යන්න පිළිබඳව මවුපියන් විසින් සිතාගෙන තිබෙන්නේ වියදම් කොට කීර්තිමත් යැය සිතා සිටින්නා වූ පාසලක ගේට්ටුවෙන් ඇතුළට තල්ලු කිරීම සහ එකී තල්ලු කිරීම සඳහා වූ වියහියදම් දැරීමයි. හැන්දෑවටත් නිවසට ගුරුවරයෙකු ගෙන්වා ගනිමින් දරුවාගේ මස්තිස්කය විවර කරමින් දත්ත ඇතුළත් කිරීමයි. එය අධ්‍යාපනය නොවේ. පිරිමි දරුවකුට නම් පෞරුෂ පූර්ණව නැගීසිටීම ට හැකියාව ගොඩ නඟා තිබිය යුතුයි. ගැහැනියකට නම් නිර්භීත භාවයත්, ලජ්ජීභාවයත් දෙකම සමඟ ජාතිය පෝෂණය කිරීමට හොඳ මවක්, හොඳ පුරවැසිනියක් වීමට මවුපියන් කටයුතු කර තිබිය යුතුයි. මේ කාර්යයන් දෙකම කිරීමට පාසලක ගුරුවරයකුට හැකියාවක් නැහැ.
දරුවන් ශික්ෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන්කර ගැනීමට දෙමව්පියන්ට හැකි විය යුතුයි. එහෙම කාල වේලාවක් නොමැති බවට කිසිවකුට තර්ක කළ නොහැකියි. රැකියාවකට යන මවකට හෝ රැකියාවකට යන පියෙකුට හැකියාව තවමත් මේ රට තුළ ඉතිරි කරලා තියෙනවා. එය ස්වේච්ඡාවෙන් සිය කැමැත්තෙන් නැති කරගෙන තබෙනවා නම්, හැර චෝදනා මුඛයෙන් කතා කළ හැකි වෙන කිසිවක් නැහැ. එනිසා දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද? දරුවන් ශික්ෂණය කරනවා නොව දරුවන් ශික්ෂණය ලබනවා විය යුතුයි. ආදරණීය පුතාට ආදරණීය දුවට මෙම ශික්ෂණය ලබාදීම සඳහා නිර්ණායකයක් ලබාගත යුතුයි. වයසින් අවුරුදු දොළහ දරුවකුගේ ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක කාලයක්. මුල් ළමා විය, ළමා විය, නවයොවුන් විය, යොවුන් විය පෙර මැදිවිය, මැදිවිය ආදි වශයෙන් විවිධ මනෝවිද්‍යාඥයන් සහ වෙනත් දාර්ශනිකයන් ශරීරය ඥානය වැඩෙන ආකාරය පදනම් කරගෙන වයස් මට්ටම බෙදල තියෙනවා. එතැනදී වයස අවුරුදු දොළහට අඩු කාලය තුළ මෙම තීරණාත්මක අවධිය පවතියි. අවුරුදු දොළහට පෙර දරුවන් ඉතාමත් වේගයෙන් පුරුදු වෙයි. අවුරුදු දොළහට වඩා වැඩිමහල් දරුවන් වේගයෙන් පුරුදු වෙන්නේ නැහැ. අවුරුදු දොළහට අඩු ළමයි පහසුවෙන් ශික්ෂණය කළ හැකියි. අවුරුදු දොළහට වැඩි වයසට පෙළඹුණ දරුවන් ශික්ෂණය කිරීම තරමක් අපහසුයි වගේම අවුරුදු දොළහට පෙර දරුවන් ශික්ෂණය කරනු ලැබ තිබෙනවා නම්, වයස දොළහ පහුවෙලා දරුවන් ශික්ෂණය කිරීමට වුවමනා වෙන්නේ නැහැ. උදේ පාන්දර නැගිටින දෙමව්පියන් බීමට පුරුදුවෙලා තිබෙන්නෙ පිරිසුදු වතුර නම් එය පුරුද්දක් නම්, දරුවනුත් වතුර බීමට පුරුදු වෙනවා. උදේ පාන්දර නැගිටින අම්මලා බොන්නේ සී.සී.ඩී. සහිත කිරීම නම් දරුවන්ට කිරි බීමට පුරුදු වෙයි. පුංචි කාලය තුළ කිරි බීමට පුරුදු වන දරුවන් සමහර වෙලාවට ජීවිත කාලයම කිරි බීමට පුරුදු වෙනවා. පසුකාලීනව චෝදනාවක් වශයෙන් මේ ළමයි කිරිවලට පුරුදු වූ බව පවසයි. එය පුරුදු වීමක් නොවේ. දෙමව්පියන් විසින් පුරුදු කරනු ලැබ තිබීමක්. රාත්‍රියට බුදුන් වඳින්න කියලා නියෝග කරන එක අධ්‍යාපනයක්. දරුවන් සමඟ එකට මල්කඩල දරුවන් සමඟ එකට බුදුන් වැඳීම ශික්ෂණයක් .පාන්දර නැගිටින්න අම්ම පැදුර අකුලල තිබෙනවා නම්, බෙඩ්සීට් එක පිළිවෙළට නවල තියෙනවා නම්, මදුරු දැළ හකුළා තිබෙනවා නම් එය දකින දුව සහ පුතා අනිවාර්යයෙන්ම එයට පුරුදු වෙනවා.අම්මා එය නොකර දරුවන්ට කිරීමට නියෝග කිරීම අධ්‍යාපනයක් මිස ශික්ෂණයක් නොවේ. එය දරුවන් පිළිපැදීමට එතරම් උනන්දු වන්නේත් නැහැ. ඒ සමඟම සමහර අවස්ථාවලදී නිවසක ඇඳුම් අල්මාරිය දෙස බැලූ විට අල්මාරිය අවුල් සහගත නම් කිළිටි ඇදුම් තැන් තැන්වල ගොඩ ගසා තිබේ නම්, ඒ තිබෙන ඇඳුම් නැවත නැවත සෝදන්න වෙන මට්ටමටම අපිරිසුදු වෙනවා නම් සහ අපිරිසුදු කරගන්නවා නම්, එදා සිටම දරුවන් අපිරිසුදුව අපිළිවෙළට ජීවත්වෙන්න පුරුදු වෙයි.
මේ ශික්ෂණය දරුවා ලබන්නේ අවුරුදු දොළහ පමණ වයස තුළ නිවසේදී නම් සැම අවස්ථාවකදීම දෙමව්පියන් කතා කරන වචන දරුවන් ශික්ෂණය ලබනවා. යහපත් වචන කතා කළහොත් යහපත් වචනද, අයහපත් වචන කතා කළහොත් අයහපත් වචනද, පුරුදු වෙන අතර ඇතැම් දෙමව්පියන් නිවස තුළ දී කිසිදු වගකීමකින් තොරව හැසිරෙන දරුවන්ද ඉතාමත් වේගයෙන් අපචාරි ක්‍රියාවන් වලට පෙළඹෙයි. සොයාගෙන තිබෙන්නා වූ සංඛ්‍යාලේඛන දත්ත අනුව මත්පැන් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා තිබෙන දරුවන් ගෙන් වැඩි පිරිසක් මවුපියන් සෙනෙහස නොලබපු අය. ඒ තුළ කියවෙන අනෙක් කරුණ නම්, එලෙස නොවුනා නම්, මෙම දරුවන්ද සමාජ ගත වනුයේ ඉතාමත්ම යහපත් දරුවන් ලෙසයි. වයස අවුරුදු දොළහක, දහතුනක දරුවන් දෙදෙනෙකු දිනපතාම පුරුද්දක් වශයෙන් කෝච්චියට ගල්ගැසීමට පුරුදු වී සිටින ප්‍රවෘත්තියක් වාර්තා වුණා. අත් අඩංගුවට පත් වූ දරුවන් පිළිබඳව වාර්තා වූ තොරතුරු අනුව ඔවුන් මවත් පියාත් නොමැතිව තම මිත්තනිය ළග හැදුන වැඩුන දරුවන් මෙම වයස්වල දරුවන් දෙදෙනා මේ තරමටම කුරිරු වුනේ ඇයි? අනාරක්ෂිත ආකාරයට හැදෙන දරුවන්ගේ ශික්ෂණය නැහැ. වයස අවුරුදු දොළහට අඩු දරුවන් ශික්ෂණය වීමට ඉඩ හැරීම කළ යුතුම කරුණකි. දරුවන්ට පාඩම්, කිරීමට නියෝග දුන්නාට දරුවන් කවදාවත්ම පාඩම් කරන්නේ නැහැ. මවත් පියාත් අධ්‍යාපනිකව නොමැති නම්, ව්‍යාපාරික පරිසරයක්ද, තාක්ෂණික යාන්ති‍්‍රක පරිසරයක්ද විනෝදාශ්වාදමය පරිසරයක්ද, දේශපාලනික පරිසරයක්ද , ශාස්ත්‍රීය පරිසරයක්ද, විවිධ නිවෙස් තුළ තිබිය හැකියි.අවුරුදු දොළහට අඩු දරුවන්ට මෙම පරිසරය ඉතාමත් වැදගත්.
පරිසරය නමැති කාරණාව නිසා වේගයෙන් උකහාගන්න ප්‍රමාණ යේ ප්‍රතිශතය අවුරුදු දොළහට අඩු ළමුන් තුළ වැඩි අගයක් ගනී. එම පරිසරයට අනුගත වෙමිනුයි දරුවා වර්ධනය වන්නේ. ව්‍යාපාරික පරිසරයක කුඩා කළ සිටම ජීවත් වූ දරුවකු බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරිකයෙකු වීමේ සම්භාවිතාව වැඩියි. දේශපාලන පරිසරයක් තිබෙන දරුවකු තුළ දේශපාලනිකව සිතීමට පෙළඹවීමට වැඩියි. මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වුණ පරිසරයක හැදෙන වැඩෙන දරුවා එම මත්ද්‍ර්‍යව පරිසරයේ හැදෙනවා වැඩෙනවා වෙන්න පු‍්‍රළුවන් අධ්‍යාපනික පරිසරයත් තිබෙන නිවෙසක දරුවන් ඉතාමත්ම හොදින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. දෙමාපියන් ගුරුවරුන් යුවළක් නම්, ඔවුන් පරිසරය ශාස්ත්‍රීය නිසාම දරුවන්ද ශාස්ත්‍රිය පැත්තට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. නිවස පරිසරය දරුවාගේ ඉදිරි ගමනට හරිම වැදගත්.

රාත්‍රිය ආයෝජන කාලයත්.කුස්සිය සහ සාලය ආයෝජන ප්‍රවර්ධන කලාපයන් දෙකම ශික්ෂණය යන ප්‍රභේදයට අයත්වනවා. දෙමව්පියන් රාත්‍රිය එළඹෙන විට හැසිරෙන ආකාරය දරුවන්ගේ අනාගතයට හරිම වැදගත්. අම්ම රාත්‍රියට පොත්පත් පත්තර කියවනවා නම්, ලියනවා නම් තාත්තත් ඒ ආකාරයෙන් පොත් පත්තරවල ගැවසෙනවා නම්, දරුවනුත් අනිවාර්යයෙන්ම ඒ පැත්තට නැඹුරුවෙනවා.දරුවන්ට ප්‍රහේළිකා කියලා දෙනවා නම්, කතන්දර , කවි, කියලා දෙනවා නම්, දරුවාගේ රසවින්දන ශක්තියයි. කියවීමේ හැකියාවයි. සවන්දීමේ හැකියාවයි, බුද්ධියයි වැඩෙනවා , සෑම රාත්‍රියකටම පුංචි ප්‍රහේළිකාවක් කළ හැකි නම්, පොඩි තේරවිල්ලක් කියාදෙන්න. දරුවන්ගේ රස වින්දන ශක්තිය, සාහිත්‍යමය හැකියාව යන වෙනත් වෙනත් ප්‍රවර්ධනීය හැකියාවන් වර්ධනය වෙනවා. මේ කාලය තුළ දෙමව්පියන් රූපවාහිනිය ඉදිරිපිට කාලය කෑමට පුරුදු වුවහොත් දරුවන් බලහත්කාරයෙන්වත් පාඩම් කිරීමට යොමු කළ නොහැක. දරුවන් උදෙසා පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා අම්මා සහ තාත්තා දැවැන්ත පරිත්‍යාගයක් කළ යුතුයි. තමන් ළග තිබෙන ආසාවන් ඇබ්බැහිවීම් පාලනය කර ගත යුතුයි. පර්යේෂණ තොරතුරුවලට අනුව ලංකා සමාජයේ රූපවාහිනිය සඳහා වැඩිපුරම ඇබ්බැහිවී සිටින්නේ තරුණ කාන්තාවන්. අක්කා රූපවාහිනියට ඇබ්බැහි වී ඇත්නම්,, නංගිත් එයට අනුගත වීම නිසාම අධ්‍යාපනික පරිසරය ගිලිහීයාමට ඉඩකඩ වැඩියි. රාත්‍රිය බෝවන විටම පළමුවෙන්ම බුදුන් වැඳීම කළා. දෙවන පියවර පවුලේ සියලු දෙනාම එක්කාසු වී රාත්‍රි ආහාර ගැනීම කළා. තුන්වන පියවර වශයෙන් පොත්පත්වල වැඩ කටයුතු කිරීම යන හැඟීම මීට දසක හතරකට පහකට පෙර බොහෝ ගැමි ගෙවල් තුළ තිබුණා. විශේෂයෙන්ම යාපනය වැනි ප්‍රදේශවල අදටත් පවතින හැඟීම රාති‍්‍රය එළඹෙන්නෙම පාඩම් කිරීම සඳහා යන්නයි. රාත්‍රිය එළඹෙන්නේ කවි කියන්න , කතන්දර අහන්න, පොත්පත් බලන්න කියන හැඟීම, වර්තමාන දෙමව්පියන් කෙතරම් වෙනස් කරගෙන තිබේද යන්න රාත්‍රිය එළඹෙන්නේ විනෝද වෙන්න යනුවෙන් අදහස් කරනු ලබයි. ආයෝජන ප්‍රවර්ධන කාලය ආයෝජන ප්‍රවර්ධන කලාපය යන දෙකම දරුවාගේ මනසින් ඉවත් වෙනවා. එනිසා ශික්ෂණය ලබන්නේ හැන්දෑවරුවේ නම්,අධ්‍යාපනය ලබන්නේ උදය කාලය තුළයි. දත්ත ඥානය පමණක් ලබාදීම පමණක් අධ්‍යාපනය කියල සිතීම ඉතාම වැරැදි අදහසක්. ළමයින්ට කෑම බීම ලබාදීමත්, පාසල් යවන එකත් පමණක් දෙමව්පියන් සතු කාර්යභාරය ලෙස සිතාගෙන සිටීම ශෝචනීය තත්ත්වයකි. මීට අවුරුදු පනහකට හැටකට පෙර ලංකාවේ එක පවුලක දරුවන් අට දෙනෙකු දහ දෙනෙකු සිටියා. වර්තමානය තුළ තරම් ලොකු ආදායම් තත්ත්වයක් නොතිබුණත් හොඳට කන බොන තත්ත්වයත් තිබුණා. එයට අමතරව අධ්‍යාපනයට, ගොවිතැනට ශරීර ශක්තියෙන් වැඩ කිරීමට යොමු කළා.
අදට ගැලපෙන ජනපි‍්‍රය පාසලක් අදට ගැලපෙන විෂය නිර්දේශයක් උගැන්වීමට යාම නිසා අදට ගැලපෙන අධ්‍යාපනය ඔවුන් වැඩිමහල් වන විට අනාගතයට ගැලපෙන තත්ත්වයක් නැහැ. පාසල්වල ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකිවුවද වර්තමාන දෙමව්පියන්ගේ භූමිකාව හෙවත් කාර්යභාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය.
දරුවන්ට ආහාර සඳහා පුරුදු කරවිමේදී ද ශීක්ෂණයක් ලැබිය යුතු ය. මොනවාද පුතේ වැඩිපුරම කන්න කැමැති පලතුර, කියා විමසූ විට ඇපල්, දොඩම්, මිදී යන පලතුරු දරුවන් කැමැති බවට ප්‍රකාශ කරනු ලබයි. එම පලතුරු, දෙමාපියන් විසින් දරුවන්ට පුරුදු කරනු ලැබ තිබෙනවා දරුවන් විසින් පුරුදු වූ ඒවා නොවේ. මාළු පාන්, එළවලු පාන්, රෝස් පාන්, තැටි පාන්, පැටිස්, බනිස් වර්ග, නූඩ්ල්ස් ආදී පාන්පිටි ආශි‍්‍රත ආහාර උදේ ආහාරය සඳහා පුරුදු කරනු ලැබ තිබේ.දරුවන්ට කව්පිවලට, මුං ඇටවලට, කඩවලට, හුරුකරවීම කුඩා අවධියේ කළ යුත්තකි.
උදේ පාන්දර නැඟිටල කොළකැඳ බීපු සංස්කෘතියක් තිබුණ රටක්, පාන්දර තැටිවල ලුණු කැඳ බීමට පුරුදු වෙලා හිටිය රටක්. එම කොළකැඳ, ලුණුකැඳ බොමින් කොස් පොළොස් කාපු ජනතාව තමයි අහස සිඹින දාගැබ්ද සයුර පරයන වැව්ද තනනු ලැබුවේ. විවිධ පිටි කිරි වර්ග බොන අපි එම වැව රැකගැනීමටවත් නොහැකි ව තිබෙනවා. එම පරම්පරාව කළ වැඩ කොටස පාසල් යන පරම්පරාවට කරගත නොහැකිය. වර්තමානයේ ජනගහණය වැඩිවුවත් ඇතැම් විට එම වැඩි ජනගහනයට අඩු ජනගහණයක් කළ කී දේ පාලනය කරගැනීමටත් නොහැක. අපේ ආදි මුතුන් මිත්තන් වූ පැරැන්නන් විසින් විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද අයවලුන් වුවත් විධිමත් ආහාර වේලක් පරිභෝජන කළ පිරිසක් වුණා. එනිසා නූතන මව සහ පියා දැනගත යුතුයි. අප වටපිටේ හරිත වනාන්තරයක් තියෙන වාසනාවන්ත ජාතියකි. ලෝකයේ බහුතර රටවල් අතරින් බහුතර රටකට ඒ වාසනාව අහිමියි. මේ රටේ තියෙන පෝෂණීය ආහාර විශේෂයන් උදයට පානයක් වශයෙන් බීමට හුරුවන එක කිරි පිටි බොනවාට වඩා ගුණසම්පන්නද යන්න කිහිප අවස්ථාවක් සිතිය යුතුයි.
අම්මාගේ කිරිවලට පුරුදුවුණ දරුවා මව්කිරිවලින් මුදාගැනීමටත් අපහසුයි. උදේ පාන්දර නැඟිටිමින් කුඩාකල සිටම කිරිපිටි වලට පුරුදු කළ දරුවාද සමහර විට ජීවිත කාලයෙන්ම කිරිපිටිවලින් මුදාගත නොහැකි විය කැඳ සඳහා පුරුදු වුණාද දරුවන් ජීවිත කාලය පුරාම කැඳවලින් වළකා ගැනීමත් අපහසුයි. මේ ආකාරයට පෝෂණය ඉතිරිවන්නේ කුමන ආහාරයකින් ද යන්න තෝරා බේරා ගැනීම දෙමව්පියන් සතු වගකීමක්. වර්තමානය වන විට මෙනේරි යන්න මොනවාද යන්න දැක නැති පරම්පරාවක් ඉන්නවා. තල දකින්නේ තල ගුලිවලිනි. රටක් වශයෙන් ජාතියක් වශයෙන් ඉදිරියට යන පිරිසකට ශික්ෂණය ලබාදීම කෙතරම් වැදගත්ද. ඒ නිසා දරුවන්ට ආහාර පද්ධතියෙන් ශික්ෂණය ලබාදීම, පරිසරයක් වශයෙන් ගෙදර නිවසෙහි පරිසරය අධ්‍යාපනික පරිසයක් කිරීම ඉතාම වැදගත්. මෙම කාර්යයන් දෙක සඳහාම දෙමව්පියන්ගේ වගකීම අනිවාර්යෙන්ම තිබිය යුතුයි.
“බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ”
අම්මා, තාත්තා දෙන්නම බ්‍රහ්ම ලෙසද පූර්වාචාර්යවරුන් ලෙසද කියනවා. ඒ පූර්වාචාර්යවරුන් වෙන්නේ බ්‍රහ්මවරුන් වෙන්නේ මේ ආකාරයෙන් දරුවන් ශික්ෂණය කළොත් පමණයි. මේ කාරණා තේරුම් ගත හොත් මේ රටේ ආදරණීය දෙමව්පියනුත්, ආදරණීය දරුවනුත් ජීවිතයම වෙනස් කළ හැකියි. එනිසා බුදුපියාණන් වහන්සේගේ මෙම වාක්‍යයට සාධාරණය ඉෂ්ට කරන්න නම්, පූර්වාචාර්යවරුන් ලෙස තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටුකිරීමට පූර්වාචාර්යවරුන් ලෙස හඳුන්වනු ලැබීම බුදුපියාණන් වහන්සේගේ සමස්ත අධ්‍යාපන සංකල්පය හුවා දක්වන කැඩපතක් තරම්ම විශාලයි. මෙම පූර්වාචාර්ය සංකල්පය ඒ තරම්ව වැදගත්.
හේමමාලා රන්දුනු