බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයකි


"අසේවනා ච බාලානං පණ්‌ඩිතානං ච සේවනා
පූජා ච පූජනීයානං ඒතං මංගලමුත්තමං"

බාලයන් ඇසුරු නොකිරීමත්-පණ්‌ඩිතයන් ඇසුරු කිරීමත් පිදිය යුත්තන් පිදීමත් උතුම් මංගල කාරණයක්‌ බව ඉහත ගාථා පාඨයේ සරල තේරුම වන අතර එය මංගල සූත්‍රයේ පළමු වන ගාථා ධර්මයයි.

බුදුරාජාන් වහන්සේ වැඩ සිටි කාලයේ මංගල යන්නට විවිධ තේරුම් සමාජයේ තිබුණා. සමහරුන්ගේ අදහස වූයේ ඇසට දකින දේ මංගල කියලයි. සමහරු කීවේ කන පිනවන ශබ්ද මංගල කියලයි. සමහරු කීවේ කය පිනවන පහස මංගල කියලයි. කවුරුත් වාගේ සිතන්නට පුරුදුවී සිටියේ මේ ක්‍රමටයයි. කවදත් සමාජයේ සිරිත වැඩිහිටියෝ, පූජකයෝ, ප්‍රධානීන් සිතන තාලයට, ගුරුවරුන් සිතන තාලයට මව්පියන් සිතන තාලයට සිතීමයි. ඊට වඩා වෙනස්‌ව සිතීම වෙනස්‌ව වැඩ කිරීම චාරිත්‍ර කැඩීමක්‌. නීති රීති කැඩීමත් අකීකරු කමක්‌ කියලයි කල්පනා කළේ.

ඒ අතින් බලන කොට බදුරාජාණන් වහන්සේ සමාජය පිළිගත් ඒ මංගල මත පසෙක දාලා මංගල යන්නට නව අර්ථ කථනයක්‌ දීල තියෙනවා. පුද්ගලයාගේත්, සමාජයේත් අභිවෘද්ධිය පිණිස පවත්නා වූත්, පුද්ගලයාගේ චරිත සංවර්ධනයට හේතු වූත් ප්‍රතිපත්ති සමූහයක්‌ මංගල සූත්‍රයෙන් දක්‌නට පුළුවන්. මංගල සූත්‍රයෙන් අපි බලාපොරොත්තුව යහපත් හෙවත් අභිවෘද්ධිය නම් මේ මංගල කරුණු ජීවිතයට එක්‌කර ගත්තාම ඒ අභිවෘද්ධිය නොවරදවාම ලැබෙන බව කියන්න පුළුවන්.

මේ සූත්‍රයේ මුලින්ම වදාළේ බාලයන් සේවනය නොකිරීම මංගල්‍යයක්‌ බවයි. මෙහි බාල යන්නෙන් අදහස්‌ කරන්නේ පස්‌ පව් දස අකුසල් කරන පාපී පුද්ගලයන්, නපුරු සිතුවිලි සිතන, නපුරු වචන කතා කරන, නපුරු ක්‍රියා කරන පුද්ගලයා තමාට අනර්ථයක්‌ කර ගනිමින් ලෝකයාට ද මහත් අනර්ථයක්‌ කරනවා. මෙවැන්නන් ආශ්‍රයෙන් වෙන්වීම මංගල්‍යයකි. ආශ්‍රය මිනිසාගේ දියුණුවට මෙන්ම පරිහානියට ද බලපානවා. බුදුරාජාණන් වහන්සේ පාපමිත්‍ර සේවනයෙන් සිදුවන අයහපතත්, කල්‍යාන මිත්‍ර සේවනයෙන් සිදුවන යහපත් නොයෙක්‌ තැන දේශනා කරල තියෙන්නේ ඒ නිසයි.

"න භජෙ පාපකෙ මිතෙත-න භජෙ පුරිසාධමෙ

භජෙථ මිතෙත කල්‍යාණෙ-භජෙථ පුරිසුත්තමෙ"

යනුවෙන් වදාළේ පාප අධම පුද්ගලයන් ආශ්‍රයකරන්න එපා. උතුම් කල්‍යාණ මිත්‍රයන්ම සේවනය කරන්න කියලයි.

කුණු මස්‌ එතු කොළය ද කුණු ගඳ ගහනවා වගේ බාලයන් ආශ්‍රය කළ තැනැත්තා ද හීන පුද්ගලයන් බවට පත්කරනවා, යනුවෙන් දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි. අජාසත්ත කුමරු පියා මරන්නට තරම් සැහැසි වූයේ අහිංසක කුමරු මව මරා දමන්නට ඉදිරිපත් වීමට තරම් දරුණු වූයේත් නරක ආශ්‍රය නිසයි. වර්තමාන තරුණ පරපුර බෙහෙවින් නොමඟට යොමු කරවන්නේ නරක යහළුවන් බව අපි කවුරුත් දන්නවා.

"බල්ලන් සමග නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ මැක්‌කොත් එක්‌ක" කියල ගම්බද කතාවක්‌ තියෙනවා. ඒ කතාවේ ඇත්ත පෙනෙන්නේ ඉතා හොඳ තරුණයන් නරක ආශ්‍රයෙන් සුළු කාලයකට පසු හිතන්න බැරි තරමට වෙනස්‌වී ඇති සැටි බලන විටයි. මීට කලකට ඉස්‌සර පෝරකයට ගිය මරු සිරා නම් තරුණයා පෝරකයට යන්නට ඉස්‌සෙල්ලා තමන්ගෙ බිරිඳට කියල තියෙනවා මගේ සිඟිති පුතාට නරක යාළුවෝ ආශ්‍රය කරන්න දෙන්න එපා කියල. මරු සිරා කියන ඒ තරුණයා ජීවිතය ගැන අත්දැකීම් රැසක්‌ ලැබූ අයෙක්‌. ඔහුට පෝරකයට යන්න මඟ සැලැස්‌සුවේ යාළුවෝ. ඔහු මේ පණිවිඩය පෝරකයට නඟින්න ඉස්‌සෙල්ලා දුන්නේ තමන්ගේ පුතා ගැන හිතල විතරක්‌ නෙමේ, ලොව උපදින හැම පුතෙකුගෙම යහපත වෙනුවෙන් වෙන්න ඕන.

"එකචරියං දළහං කයිරා නත්ථි බාලෙ සහායතා" ආශ්‍රය කරන්න කෙනෙක්‌ නැත්නම් තනිව ඉන්න. බාලයන් හා ආශ්‍රය කරන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බෞද්ධ අපේ එකම ප්‍රාර්ථනය විය යුත්තේ සසර වසන තුරු බාල ජනයන්ගේ ආශ්‍රයක්‌ නොවේවා. කල්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය වේවා යන්නයි. සිඟාලෝවාද සූත්‍රයේ පාපමිත්‍රයෝ කව්ද, කියල හඳුනා ගන්න හැටි බුදුහාමුදුරුවෝ අපට කියල දීල තියෙනව. කල්‍යාණ මිත්‍රයා හැමවිටම දියුණුවේ මග පෙන්වා දෙන බැවින් ජීවිතයකට එය මංගල්‍යයක්‌ වෙනවා.

සමාජයේ හැම විටකම ගරු කළ යුතු පිදිය යුතු පිරිසක්‌ ඉන්නවා. දෙමාපියන් ගුරුවරු වැඩිහිටියන් අපේ ගෞරව සම්මානයට හැම විටකම භාජනය විය යුතු පිරිසක්‌. දෙමාපියෝ පූර්වාචාර්යවරු වශයෙන් බුදුහාමුදුරුවෝ හඳුන්වාදී තියෙනවා. මේ ගෞරවය වැඳීමෙන් පිදීමෙන් පමණක්‌ නොවෙයි ඒ අය කරන අවවාද අනුශාසනා පිළිපැදීමෙනුත් අප විසින් ගෞරව කළ යුතු වෙනවා. ඇපේ ඇස්‌ පාදා දෙන ගුරුවරුන්ද අපේ දෙමාපියන් සේම ගරු කළ යුතු පිරිසක්‌. අප ඒ අයට ගරු කරන විට ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර ඇති වෙන්නේ පිය පුතු සෙනෙහසක්‌, ගුරුවරයාගේ බසට අවනත නොවන කල ධර්ම ශාස්‌ත්‍රය නොපිහිටයි. හොඳ නරක පෙන්නා දී විශිෂ්ට පුරවැසියන් ලෙස අප සමාජයට ඉදිරිපත්කරන්නට දිරි ගන්නා ගුරුවරුන්ට අප හැම විටකම ගරු කළ යුතුයි. පෙර ගුරුවරයා දකින විට අසුනින් නැගිටීමට, දණ ගසා නමස්‌කාර කිරීමට තරම් බෞද්ධය හුරු පුරුදු වූයේ ගුරුවරයාගේ ශේ්‍රෂ්ඨත්වය අවබෝධ කරගෙනයි. අප වැඩිහිටි ගුරු දෙමාපියන්ට ගරු කරන විට ඔහුන් අප කෙරෙහි ඇති කර ගන්නා බැඳීම හැම විටම අපේ දියුණුවට වගේම යහපතට හේතුවෙනවා. එබැවින් හැකි සෑම අවස්‌ථාවකම ඔබත් බාලයන් සේවනයෙන් වළකින්න. පණ්‌ඩිතයන්ම සේවනයකරන්න. පිදිය යුත්තන් පුදන්න. මේ උතුම් ගුණයන්ගෙන් ජීවිතය සරසාගෙන ඔබේ ජීවිතය මංගල්‍යයක්‌ බවට පත්කර ගැනීමට උත්සාහවන්ත වන්න. ඔබ සැමට දෙලොව සැපත් කෙළවර නිවන් සුවත් අත්කර ගැනීමට අවශ්‍ය දිරිය ශක්‌තිය ඥනය නොඅඩුව ලැබේවා.!


කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරාධිපති
මාදුළුවාවේ සෝභිත හිමි
සටහන - ධම්මික හේවාවසම්